ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව ගෙන ඒමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි මත ප්‍රචාරය වෙමින් පවතින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. පසුගියදා පැවැති ඔවුන්ගේ මහජන සංවාදයෙන් පසුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඇතැම් මාධ්‍ය විසින් එම සාකච්ඡාවේ කරුණු විකෘති කර ඉදිරිපත් කර ඇති බවයි. වගකිවයුතු තනතුරු දරන පුද්ගලයන් පවා මෙවැනි අසත්‍ය තොරතුරු සමාජගත කිරීම කනගාටුදායක බවත්, නීතිඥ සංගමය අවධාරණය කරනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යැවූ ලිපියක සඳහන් කළ පරිදි, වත්මන් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස හදිසියේ දීර්ඝ කිරීම කිසිසේත්ම අවශ්‍ය නොවන බවත් එය නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට හානි විය හැකි බවත් නීතිඥ සංගමය පෙන්වා දෙනවා. මෙම විරෝධය කිසිදු පුද්ගලයෙකුට හෝ දේශපාලන පක්ෂයකට එරෙහිව කරන එකක් නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය මූලධර්ම මත පදනම්ව ගත් ස්ථාවරයක් බව ඔවුන් පවසනවා. නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට පොරොන්දු වී සිටියදී මෙවැනි අතුරු සංශෝධන ගෙන ඒම සුදුසු නොවන බවයි එම සංවාදයට එක්වූ ප්‍රවීණ නීතිවේදීන් සහ විද්වතුන් පවා පෙන්වා දී තිබෙන්නේ.
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සහ ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නීතිඥ සංගමය දිගින් දිගටම කැපවී සිටින බවත්, ජනතාව මෙවැනි වැරදි ප්‍රචාරවලට නොරැවටී නිවැරදි තොරතුරු පමණක් විශ්වාස කරන ලෙසත් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback