බංග්ලාදේශයේ පවතින දේශපාලන අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ එරට ජනාධිපති මොහොමඩ් සහාබුදීන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ පාලනය අවසන් වීමෙන් පසු ඇති වූ දේශපාලන වෙනස්කම්වල තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙය සැලකෙනවා. දේශීය මාධ්‍ය වාර්තා කරන පරිදි, සහාබුදීන් මේ පිළිබඳව අගමැති මුහම්මද් රහ්මාන්ව දැනුවත් කිරීමෙන් පසුවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. කෙසේ වෙතත්, ජනාධිපති කාර්යාලයෙන් හෝ සහාබුදීන්ගෙන් මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් වී නැහැ.
2023 වසරේ අප්‍රේල් මාසයේදී ජනාධිපති ධුරයට පත් වූ 76 හැවිරිදි සහාබුදීන්, හසීනාගේ පාලනය බිඳ වැටීමෙන් පසු ඇති වූ දේශපාලන රික්තකය තුළ රටේ ව්‍යවස්ථාපිත කටයුතු පවත්වාගෙන යාමට විශාල කාර්යභාරයක් ඉටු කළා. හසීනාගේ රජයට පක්ෂපාතී නිලධාරීන් ඉවත් කරන ලෙසට මහජනතාවගෙන් එල්ල වන දැඩි පීඩනය සහ රටේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇති බවයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම, පසුගිය කාලයේ පැවති විරෝධතා අතරතුර සිදුවූ මරණ සම්බන්ධයෙන් හසීනාට මරණ දඬුවම නියම වී තිබීම සහ ඇය නැවත රටට පැමිණීමට උත්සාහ කිරීම වැනි කරුණු නිසා බංග්ලාදේශ දේශපාලනය තවමත් පවතින්නේ ඉතා සංකීර්ණ තත්ත්වයකයි.
මීට පෙර රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී සහාබුදීන් සඳහන් කර තිබුණේ, පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් පසු තමන් ධුරයෙන් ඉවත් වීමට බලාපොරොත්තු වන බවයි. කෙසේ වෙතත්, අන්තර්වාර පාලනාධිකාරිය විසින් තමන්ව කොන් කර ඇති බවට ඔහු මීට පෙර චෝදනා කර තිබුණා. මේ වන විට අවාමි ලීගය තහනම් කර තිබුණත්, හිටපු අගමැතිනියට සහාය දක්වන පිරිස් තවමත් රට තුළ සිටින නිසා ඉදිරියේදී බංග්ලාදේශ දේශපාලනය කුමන දිශාවකට හැරේවිද යන්න පිළිබඳව ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා.

Discussion & Feedback