ඉන්දුනීසියාවේ බාලි දූපතේ ජනප්‍රිය සංචාරක කලාපයක් වන කුටා ප්‍රදේශයේ නිවසක තිබී ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් සහ ඔහුගේ කුඩා දරුවන් දෙදෙනාගේ මළ සිරුරු හමුවී තිබෙනවා. 56 හැවිරිදි ඩේමියන් ජෝන් ෂෝ සහ ඔහුගේ හය හැවිරිදි පුතා සහ හතර හැවිරිදි දියණිය මෙලෙස මියගොස් සිටියදී සොයාගෙන ඇත්තේ ඉරිදා දිනයේදීයි. මියගිය පුද්ගලයාගේ බිරිඳ ජකර්තා නුවර රැඳී සිටින අතරතුර තම සැමියා සමඟ දුරකථනයෙන් කතා කරමින් සිටියදී දරුවෙකු අඬන හඬ ඇසීම නිසා ඇය දැඩි කලබලයට පත්ව තිබෙනවා. පසුව සැමියා සමඟ සම්බන්ධ වීමට නොහැකි වූ නිසා ඇය අසල්වැසියෙකුට මේ ගැන පවසා පරීක්ෂා කර බලන ලෙස ඉල්ලා සිටියා.
අසල්වැසියන් නිවසට ගොස් දොර කඩා ඇතුළු වූ විටයි මෙම ඛේදජනක සිදුවීම දැකගන්න ලැබුණේ. මේ වන විට පොලිසිය සැක කරන්නේ මෙය මිනීමැරුමක් සහ සියදිවි නසාගැනීමක් විය හැකි බවයි. කෙසේ වෙතත්, මරණයට නිශ්චිත හේතුව තවමත් තහවුරු කරගෙන නැති අතර ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතිනවා. බටහිර ඕස්ට්‍රේලියාවේ ෆ්රීමෑන්ටල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මොහුගේ මරණය සම්බන්ධයෙන් එරට බලධාරීන් පවා කම්පනයට පත්ව සිටිනවා. මේ සිදුවීම ඉතාමත් කණගාටුදායක එකක් බව පවසන බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති රොජර් කුක්, සිද්ධියට මුහුණ දුන් පවුලේ සැමට සිය ශෝකය පළ කර තිබෙනවා.

Discussion & Feedback