සමාජ මාධ්‍ය ඔස්සේ අපිට පේන දේවල් තීරණය කරන්නේ ඇල්ගොරිතම මගින් බව අපි හැමෝම දන්නවා. ඉතින් මේ ඇල්ගොරිතම පාලනය කිරීමේ බලය පරිශීලකයන්ටම ලබාදෙන්න ඕස්ට්‍රේලියානු රජය අලුත් නීතියක් ගේන්න සූදානම් වෙනවා. මේ යෝජිත නීතියට අනුව ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් වගේ සමාජ මාධ්‍ය වේදිකාවලට සිද්ධ වෙනවා තමන්ගේ පරිශීලකයන්ගෙන් අහන්න, ඔවුන්ට ඇල්ගොරිතම මගින් නිර්දේශිත අන්තර්ගතයන් අවශ්‍යද නැද්ද කියලා. මේක හරියටම කිව්වොත් තමන් කැමති නම් විතරක් ඒ දේවල් බලන්න පුළුවන් විදිහට ‘opt-in’ හෝ ‘opt-out’ පහසුකම ලබාදීමක්. මේ හරහා තමන් අනුගමනය කරන අයගේ පෝස්ට් විතරක් පේන විදිහට ෆීඩ් එක හදාගන්න ඕස්ට්‍රේලියානුවන්ට අවස්ථාව ලැබෙනවා.
මේ පියවර ගන්නේ ‘ඩිජිටල් සුරක්ෂිතභාවය’ (Digital Duty of Care) කියන පුළුල් නීති රාමුව යටතේයි. මේ නීතිය හරහා සමාජ මාධ්‍ය සමාගම්වලට ලොකු වගකීමක් පැවරෙනවා. විශේෂයෙන්ම ළමයින්ව අන්තර්ජාලයේ තියෙන බුලි කිරීම්, අසභ්‍ය දර්ශන සහ විවිධ මානසික ගැටලු ඇති කරන අන්තර්ගතයන්ගෙන් ආරක්ෂා කරන්න ඔවුන් බැඳී ඉන්නවා. මේ නීති කඩ කළොත් අදාළ සමාගම්වලට ඇමරිකානු ඩොලර් මිලියන 100කට වඩා වැඩි දඩ මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. තාක්ෂණය විසින් අපව පාලනය කරනවා වෙනුවට, අපිට තාක්ෂණය පාලනය කරන්න පුළුවන් විදිහට මේ දේවල් වෙනස් කරන්න ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් බලාපොරොත්තු වෙනවා. මේක ඇත්තටම අන්තර්ජාලය වඩාත් සුරක්ෂිත සහ අපිට පාලනය කරන්න පුළුවන් තැනක් කරගන්න ලැබෙන හොඳ අවස්ථාවක්.

Discussion & Feedback