ඕස්ට්‍රේලියාවේ ඊ-ආරක්ෂක කොමසාරිස් ජූලි ඉන්මන් ග්‍රාන්ට් විසින් ටෙලිග්‍රෑම් සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ, එම වේදිකාව තුළ පවතින ත්‍රස්තවාදී අන්තර්ගතයන් සහ අන්තවාදී වීඩියෝ දර්ශන ඉවත් කිරීමට අපොහොසත් වීම නිසයි. විශේෂයෙන්ම ක්‍රයිස්චර්ච් වෙඩි තැබීමේ සිදුවීම වැනි බිහිසුණු ප්‍රහාරවලට සම්බන්ධ වීඩියෝ දර්ශන තවමත් ටෙලිග්‍රෑම් හරහා පහසුවෙන් සොයා ගැනීමට හැකි වීම විශාල ගැටලුවක් බව ඇය පෙන්වා දෙනවා. මෙම නීති උල්ලංඝනය කිරීම් හේතුවෙන් ටෙලිග්‍රෑම් සමාගමට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 54.6ක පමණ දැවැන්ත දඩ මුදලක් ගෙවීමට සිදු විය හැකි බවයි වාර්තා වෙන්නේ.
පසුගිය මාස පහක කාලය පුරාම ටෙලිග්‍රෑම් සමාගම සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කළත්, ඔවුන්ගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව ඉන්මන් ග්‍රාන්ට් පවසනවා. ඕනෑම සමාජ මාධ්‍ය වේදිකාවක් නීතියට ඉහළින් නොමැති බවත්, පරිශීලකයන් අන්තවාදයට යොමු කිරීම වැළැක්වීමට ඔවුන් බැඳී සිටින බවත් ඇය අවධාරණය කරනවා. මීට අමතරව, රුසියාවේදී ටෙලිග්‍රෑම් නිර්මාතෘ පවෙල් ඩුරොව්ට එරෙහිව ත්රස්තවාදයට අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබීමත්, ප්‍රංශයේදී ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමත් නිසා මේ වන විට ටෙලිග්‍රෑම් සමාගම ලොව පුරා දැඩි අවධානයකට ලක්ව තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන ටෙලිග්‍රෑම් සමාගම පවසන්නේ තමන් ත්රස්තවාදයට එරෙහිව පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි. ඕස්ට්‍රේලියානු බලධාරීන්ගේ මෙම නීතිමය පියවරට එරෙහිව අධිකරණයේදී කරුණු දැක්වීමට ඔවුන් සූදානම් වනවා. අනාගතයේදී අවශ්‍ය වුවහොත් ඕස්ට්‍රේලියාව තුළ ටෙලිග්‍රෑම් සේවාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පවා පියවර ගත හැකි බව බලධාරීන් ඉඟි පළ කර තිබෙනවා.

Discussion & Feedback