ඇමසන් සමාගමේ අන්තර්ජාල සේවා ව්යාපෘතිය සඳහා තවත් චන්ද්රිකා 29ක් අභ්යවකාශගත කිරීමට එක්සත් දියත් කිරීමේ සන්ධානය (ULA) පසුගිය බ්රහස්පතින්දා කටයුතු කළා. ෆ්ලොරිඩා ප්රාන්තයේ කේප් කැනවරල් අභ්යවකාශ මධ්යස්ථානයෙන් ඇට්ලස් V රොකට්ටුවක් මගින් මෙම චන්ද්රිකා කට්ටලය පෘථිවි පහළ කක්ෂයට සාර්ථකව යැවීමට ඔවුන් සමත් වුණා. දියත් කිරීමෙන් විනාඩි 70කට පසුව සියලුම චන්ද්රිකා නියමිත පරිදි කක්ෂගත වූ බවයි වාර්තා වෙන්නේ.
මෙම ව්යාපෘතිය ඇමසන් සමාගමේ ‘ප්රොජෙක්ට් කූපර්’ (Project Kuiper) ලෙස හඳුන්වන අතර, අනාගතයේදී චන්ද්රිකා 3,200කින් සමන්විත දැවැන්ත ජාලයක් ගොඩනැගීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. දැනට අභ්යවකාශයේ පවතින ස්පේස්-එක්ස් සමාගමේ ස්ටාර්ලින්ක් ජාලයට තරගයක් ලෙස මෙය සැලකෙනවා. මේ වන විට ඇමසන් චන්ද්රිකා 400ක් පමණ මෙහෙයුම් 15ක් හරහා අභ්යවකාශයට යවා තිබෙනවා.
මෙම මෙහෙයුම සඳහා යොදා ගත්තේ ඇට්ලස් V රොකට්ටුවේ වඩාත්ම බලගතු මාදිලිය වන 551 වර්ගයයි. ටොන් 18ක බරකින් යුත් මෙම චන්ද්රිකා තොගය ඇට්ලස් V රොකට්ටුවක් විසින් රැගෙන ගිය වැඩිම බර ලෙස වාර්තා පොත් අතරට එක්වෙනවා. අනාගතයේදී ලොව පුරා වේගවත් අන්තර්ජාල පහසුකම් ලබා දීම සඳහා මෙම චන්ද්රිකා ජාලය ඉතා වැදගත් වනු ඇති බවයි තාක්ෂණික විශේෂඥයින් පවසන්නේ.

Discussion & Feedback