යුක්රේන අගනුවර වන කියෙව් වෙත රුසියාව විසින් අඟහරුවාදා අලුයම එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. තවත් දස දෙනෙක් තුවාල ලබා ඇති බවයි එරට හදිසි සේවා අංශ සඳහන් කරන්නේ. මේ ප්‍රහාරය එල්ල වුණේ දෙරටේම අගනුවරවලට ප්‍රහාර එල්ල කිරීම තාවකාලිකව නතර කිරීමට එකඟතාවක් ඇති කරගෙන තිබූ පසුබිමක වීම විශේෂත්වයක්. ප්‍රහාරය නිසා නේවාසික ගොඩනැගිලි කිහිපයකටම හානි සිදුවී ඇති අතර, පොඩිල් දිස්ත්‍රික්කයේ වාහන කිහිපයක්ද ගිනිගෙන විනාශ වී තිබෙනවා. සාමාන්‍ය ජනතාව බියෙන් මෙට්‍රෝ දුම්රිය ස්ථානවල ආරක්ෂාව පතා රැඳී සිටින අයුරු දැකගන්න පුළුවන්.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයින් යුක්රේනයේ සහ රුසියාවේ සංචාරයක නිරත වී සාකච්ඡා පැවැත්වුවත්, එයින් යුද්ධය නතර කිරීමට තරම් විශාල සාර්ථකත්වයක් ලැබුණේ නැහැ. යුද්ධය තවදුරටත් ශීත සෘතුව දක්වාම ඇදී යනු ඇති බවට යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අනතුරු අඟවනවා. මේ අතර, රුසියාවේ සරතොව් නගරයටත් යුක්රේනය විසින් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වෙනවා. දැනට ලැබෙන දත්ත අනුව, 2022 වසරේ යුද්ධය ආරම්භ වූ දා සිට කියෙව් නගරයට වැඩිම ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් ලැබෙමින් පවතින්නේ මේ දිනවලයි. දෙරට අතර පවතින ගැටුම් තවමත් අවසන් වීමේ කිසිදු ලකුණක් පෙනෙන්නට නැහැ.

Discussion & Feedback