ගයනා රාජ්‍යයේ වෙරළ තීරයට ඔබ්බෙන් මගී ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලී යාමෙන් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා. ‘එම්.වී. බැරිමා’ නමැති මෙම නෞකාව පසුගිය සෙනසුරාදා රාත්‍රියේ අනතුරට ලක්වූ අතර, මේ වන විට 83 දෙනෙකු අතුරුදහන්ව ඇති බවයි බලධාරීන් පවසන්නේ. නෞකාවේ නිල ලේඛනවලට අනුව මගීන් 133 දෙනෙකු සිටිය යුතු වුවත්, සැබෑ ලෙසම එහි 179 දෙනෙකු ගමන් කර ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ වන විට 69 දෙනෙකු බේරා ගැනීමට හැකි වී ඇති අතර, අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම් තවමත් ඉතා දැඩිව ක්‍රියාත්මකයි.
මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණවලදී නෞකාවේ නියමුවා සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් ඔවුන්ව පොලිස් භාරයට ගැනීමට පියවර ගෙන ඇති අතර, නීතිය උල්ලංඝනය කළ සැමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ගයනා අගමැතිවරයා අවධාරණය කරනවා. විශාල රළ පහරක් හේතුවෙන් නෞකාව පෙරළී ගිය බවත්, තත්පර කිහිපයක් ඇතුළත එය ජලයෙන් පිරී ගිය බවත් දිවි ගලවා ගත් මගීන් පවසනවා. ඇතැම් මගීන් මුහුදේ පාවෙමින් තිබූ පෙට්ටිවල එල්ලී ජීවිත බේරාගෙන ඇති අතර, තවත් පිරිසක් තවමත් අතුරුදහන්ව සිටීම ඉතා කණගාටුදායක තත්ත්වයක්. ප්‍රංශ හමුදාවේ සහායද ඇතිව කිමිදුම්කරුවන් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් අඛණ්ඩව සෝදිසි මෙහෙයුම් සිදුකරමින් සිටිනවා.

Discussion & Feedback