හමාස් සංවිධානය සිය අවි ආයුධ භාරදීමට සහ නිරායුධ වීමට එකඟතාව පළ කර තිබියදීත්, ගාසා තීරයේ විවිධ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදාව විසින් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. මෙම ප්‍රහාරවලින් කුඩා දරුවන් ඇතුළු අවම වශයෙන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පලස්තීන බලධාරීන් තහවුරු කරනවා. ගාසා නගරය, ඛාන් යුනිස් සහ ඩෙයර් එල්-බලා යන ප්‍රදේශවල පිහිටි නේවාසික ගොඩනැගිලි ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල වී ඇති අතර, ඉන් පවුල් පිටින් පුද්ගලයන් මිය යාම ඉතා ඛේදජනක තත්ත්වයක්. ඊශ්‍රායල හමුදාව පවසන්නේ තමන් හමාස් සංවිධානයේ ඉහළ පෙළේ අණදෙන නිලධාරීන් ඉලක්ක කර මෙම ප්‍රහාර දියත් කළ බවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් හමාස් සංවිධානය නිරායුධ කිරීමේ සාම සැලැස්මක් ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණත්, ඊශ්‍රායලය තවමත් ඒ සම්බන්ධයෙන් පවතින්නේ දැඩි අවිශ්වාසයකින්. ඊශ්‍රායල බලධාරීන් පවසන්නේ හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම නිරායුධ වන තුරු හෝ ගාසා තීරය සම්පූර්ණයෙන්ම ඊශ්‍රායල පාලනය යටතට පත්වන තුරු ප්‍රහාර නතර නොකරන බවයි. පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ සටන් විරාමය නොතකා මේ වන විටත් පලස්තීනුවන් 1,100කට වැඩි පිරිසක් මිය ගොස් තිබීම ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා. සාමය උදෙසා වූ මෙම නවතම සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී පවතින බාධක සහ දෙපාර්ශවය අතර පවතින නොගැලපීම් නිසා ගාසා තීරයේ අනාගතය තවමත් අවිනිශ්චිතව පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Discussion & Feedback