අභ්යවකාශයේ තරු සාමාන්යයෙන් බිහිවෙන්නේ එකම වායු සහ දූවිලි වලාකුළකින් බව අප දන්නවා. නමුත් මෑතකදී තාරකා විද්යාඥයින් පිරිසක් අභ්යවකාශයේ සිදුවන පුදුමාකාර සිදුවීමක් නිරීක්ෂණය කර තිබෙනවා. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 5,300ක් පමණ දුරින් පිහිටි ‘IRAS 07299−1651’ නම් තරු පද්ධතියේ තරු දෙකක් මීට වසර 60කට පමණ පෙර එකිනෙක මුණගැසී යුගලයක් ලෙස බිහිවී ඇති බවයි ඔවුන් සොයාගෙන තියෙන්නේ. සාමාන්යයෙන් තරු යුගලයක් බිහිවෙන්නේ එකම තැටියකින් වුණත්, මේ තරු දෙකේ වටා ඇති දූවිලි තැටි එකිනෙකට වෙනස් කෝණවලින් පිහිටා තිබීම නිසා මේවා වෙන වෙනම බිහිවී පසුව එකතු වූ බව විද්යාඥයින් තහවුරු කරනවා.
චීනයේ ෂැංහයි ජියාඕ ටොං විශ්වවිද්යාලයේ පර්යේෂකයන් ඇතුළු කණ්ඩායමක් ALMA, ජේම්ස් වෙබ් සහ තවත් ප්රබල දුරේක්ෂ කිහිපයක් භාවිතා කරමින් වසර අටක කාලයක් තිස්සේ මේ තරු යුගලය අධ්යයනය කර තිබෙනවා. ඔවුන් දුටු විශේෂම දේ තමයි මේ තරු දෙකේ කක්ෂ ඉතාමත් අසාමාන්ය සහ පැතලි හැඩයකින් යුක්ත වීම. සාමාන්යයෙන් තරු යුගලයක් වෘත්තාකාරව ගමන් කළත්, මේ තරු දෙකේ ගමන් මග සහ ඒවා අභ්යවකාශයට විදින වායු ජෙට් පවා එකිනෙකට නොගැලපෙන අයුරින් පිහිටා තිබෙනවා. මෙය හරියටම ත්රිමාණ ප්රහේලිකාවක් විසඳනවා වැනි අත්දැකීමක් බවයි පර්යේෂකයන් පවසන්නේ. මෙම සොයාගැනීම මගින් මහා පරිමාණ තරු යුගල බිහිවන ආකාරය පිළිබඳව අපට අලුත් දැනුමක් ලැබෙනවා වගේම, විශ්වයේ සිදුවන මෙවැනි සංකීර්ණ ක්රියාවලීන් තේරුම් ගැනීමටත් විශාල පිටුවහලක් වෙනවා.

Discussion & Feedback