අපේ පෘථිවියට ආලෝක වර්ෂ 25ක් වැනි ඉතා කෙටි දුරකින්, ජීවය පැවතිය හැකි යැයි සැක කෙරෙන නව ග්රහලොවක් ගැන තොරතුරු වාර්තා වෙනවා. GJ 3378b ලෙස නම් කර ඇති මෙම ග්රහලොව, ‘කැමලෝපර්ඩාලිස්’ තාරකා මණ්ඩලයේ පිහිටි රතු වාමන තරුවක් වටා තම ගමන් මග සකසාගෙන තිබෙනවා. මුලින් මෙය වායුමය ග්රහලොවක් ලෙස සැලකුවත්, කැලිෆෝනියා විශ්වවිද්යාලයේ පර්යේෂකයන් සිදුකළ නවතම නිරීක්ෂණවලින් පෙනී යන්නේ මෙය පෘථිවිය මෙන් දෙගුණයක ස්කන්ධයකින් යුත් පාෂාණමය ‘සුපිරි පෘථිවියක්’ විය හැකි බවයි. මෙය එහි තරුව වටා දින 21කින් එක් වටයක් සම්පූර්ණ කරන අතර, එම කලාපය ද්රව ජලය පැවතීමට සුදුසු උෂ්ණත්වයකින් යුක්ත වීම විශේෂත්වයක්.
කෙසේ වෙතත්, මෙම ග්රහලොව ජීවයට හිතකරද යන්න තවමත් ගැටලුවක්. රතු වාමන තරු නිකුත් කරන ප්රබල විකිරණ නිසා ග්රහලොවේ වායුගෝලය විනාශ වී යාමේ අවදානමක් පවතිනවා. GJ 3378b ග්රහලොව එහි තරුව ඉදිරියෙන් ගමන් නොකරන නිසා, දැනට පවතින ජේම්ස් වෙබ් දුරේක්ෂය වැනි උපකරණවලින් එහි වායුගෝලය ගැන පරීක්ෂා කිරීම අපහසුයි. ඒ නිසා 2040 දශකයේදී දියත් කිරීමට නියමිත නාසා ආයතනයේ නවතම ‘Habitable Worlds Observatory’ දුරේක්ෂය එනතුරු විද්යාඥයන්ට බලා සිටීමට සිදුව තිබෙනවා. කෙසේ වුවත්, අපේ විශ්වයේ අසල්වැසි ප්රදේශයක මෙවැනි ග්රහලොවක් හමුවීම අභ්යවකාශ විද්යාවේ සුවිශේෂී ජයග්රහණයක් ලෙසයි විද්යාඥයන් සලකන්නේ.

Discussion & Feedback