සිරියාවේ බෂාර් අල්-අසාද් පාලන සමයේ සේවය කළ හිටපු මේජර් ජෙනරාල් අදෙල් ඉසා, යුද අපරාධ චෝදනා මත ලෙබනනය විසින් සිරියාවට භාර දී තිබෙනවා. අසාද් පාලනය බිඳවැටීමෙන් පසු මෙවැනි ආකාරයේ පිටුවහල් කිරීමක් සිදු වූ පළමු අවස්ථාව මෙයයි. 67 හැවිරිදි වියේ පසුවන ඉසා, 2016 වසර දක්වා සිරියාවේ ඩෙයිර් එසෝර් පළාතේ ගොඩබිම් හමුදා මෙහෙයවූ අයෙක්. ඔහුට එරෙහිව මිනීමැරුම්, වධහිංසා පමුණුවා මරණයට පත් කිරීම සහ සිවිල් යුද්ධයක් ඇති කිරීමට කුමන්ත්රණය කිරීම වැනි බරපතල චෝදනා එල්ල වී තිබෙනවා. පසුගිය අගෝස්තු මාසයේදී බීරූට් නුවර පිහිටි සිරියානු තානාපති කාර්යාලයට ගිය අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් අතර, මේ වන විට ඔහුව සිරියානු බලධාරීන් වෙත භාර දී අවසන්.
සිරියාවේ නව රජය විසින් ලෙබනනයට බලපෑම් කරමින් සිටින්නේ රටින් පලාගිය හිටපු ආරක්ෂක සහ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන ලෙසයි. මේ වන විටත් සිරියාවේ නව බලධාරීන් විසින් හිටපු ඉහළ පෙළේ නිලධාරීන් 200කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට ලැයිස්තු සකස් කර තිබෙනවා. මීට පෙර අසාද් සහ ඔහුගේ සහෝදරයාට එරෙහිව මරණ දඬුවම නියම කිරීමටත් දමස්කස් අධිකරණය පියවර ගත්තා. ඉසාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහු තවමත් ප්රතික්ෂේප කරමින් සිටින අතර, ඉදිරියේදී දමස්කස් නුවර අධිකරණයකදී ඔහුගේ නඩුව විභාග වීමට නියමිතයි. සිරියානු සිවිල් යුද්ධය හේතුවෙන් ලක්ෂ පහකට අධික පිරිසක් මියගිය බවටයි ඇස්තමේන්තු කර තිබෙන්නේ.

Discussion & Feedback