ප්‍රසිද්ධ හොලිවුඩ් නළුවෙක් සහ ආයෝජකයෙක් වන ඇෂ්ටන් කචර්, ඔහු වසර 11කට පෙර ආරම්භ කළ ‘සවුන්ඩ් වෙන්චර්ස්’ (Sound Ventures) සමාගමෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඔහු මේ පියවර ගන්නේ මෝගන් බෙලර් සමඟ එක්ව නව ව්‍යාපාරික ආයෝජන සමාගමක් ආරම්භ කිරීමේ අරමුණින්. සවුන්ඩ් වෙන්චර්ස් ආයතනය OpenAI සහ Anthropic වැනි දැවැන්ත සමාගම්වල මුල් කාලීන ආයෝජකයෙක් ලෙස නමක් දිනාගෙන සිටියත්, කචර්ගේ නව ගමන මීට වඩා වෙනස් එකක් වේවි. ඔහු සහ බෙලර් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ කෘත්‍රිම බුද්ධිය (AI) සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, බලශක්තිය සහ ගැඹුරු තාක්ෂණික (Deep Tech) ක්ෂේත්රවල මුල් අවධියේ පවතින සමාගම් වෙත ආයෝජනය කිරීමටයි.
මෙම වෙන්වීම කිසිදු ගැටලුවක් නිසා සිදුවූවක් නොවන බවයි වාර්තා වෙන්නේ. ඇත්තටම සවුන්ඩ් වෙන්චර්ස් ආයතනය දැනටමත් ස්ථාපිත සමාගම්වලට ආයෝජනය කිරීමට වැඩි කැමැත්තක් දක්වන අතර, කචර්ට අවශ්‍ය වී තිබෙන්නේ තවමත් වර්ධනය වෙමින් පවතින අලුත් තාක්ෂණික සමාගම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නයි. කෙසේ වෙතත්, කචර් තවදුරටත් සවුන්ඩ් වෙන්චර්ස් ආයතනයේ උපදේශකයෙක් ලෙස කටයුතු කරන අතර, එම ආයතනයේ ප්‍රධානීන් ද කචර්ගේ නව ව්‍යාපෘතියට උපදෙස් ලබා දීමට එකඟ වී තිබෙනවා. තාක්ෂණික ලෝකයේ ඉදිරි ගමනට මෙම නව ආයෝජන සමාගම විශාල බලපෑමක් කරාවි කියා බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback