ඉතාලියේ පිහිටි යුරෝපයේ උසම සක්‍රීය ගිනිකන්ද වන එට්නා කන්දේ සිදුවන පිපිරීම් සහ ඉන් පිටවන අළු හේතුවෙන් සිසිලි දූපතේ කැටානියා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සියලුම ගුවන් ගමන් තාවකාලිකව නවත්වන්න බලධාරීන් පියවර අරන් තියෙනවා. මේ ගිනිකන්දෙන් පිටවන අළු වායුගෝලය පුරා පැතිරීම නිසා ගුවන් ගමන්වලට දැඩි බාධා එල්ල වෙලා තියෙන අතර, ආරක්ෂක හේතූන් මත සඳුදා දින සිට අඟහරුවාදා රාත්‍රී 10 දක්වා ගුවන් ගමන් අත්හිටුවීමටයි තීරණය කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් රතු නිවේදනයක් නිකුත් කිරීමටත් බලධාරීන් කටයුතු කරලා තියෙනවා.
කැටානියා ගුවන් තොටුපළ කියන්නේ ඉතාලියේ පස්වැනි කාර්යබහුලම ගුවන් තොටුපළක්. පසුගිය මාසයේදීත් ගිනිකඳු ක්‍රියාකාරකම් නිසා සතියක පමණ කාලයක් මේ ගුවන් තොටුපළ වසා දැමීමට සිදුවුණා. වසරකට මිලියන 12ක් පමණ මගීන් ප්‍රමාණයක් ගමන් ගන්නා මේ ගුවන් තොටුපළ එට්නා කන්දට කිලෝමීටර් 40ක් වැනි ආසන්න දුරකින් පිහිටා තිබීම නිසා නිතරම මෙවැනි ගැටලුවලට මුහුණ දීමට සිදුවෙනවා. මේ නිසා ගුවන් තොටුපළ වෙනත් ස්ථානයකට ගෙන යාම හෝ පහසුකම් පුළුල් කිරීම පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගෙන් අදහස් පළවෙමින් පවතිනවා.
ගුවන් ගමන් අත්හිටුවීම නිසා මගීන්ට විශාල අපහසුතාවක් සිදුවී තිබුණත්, එට්නා කන්දේ ලාවා ගලා යන දර්ශනය නැරඹීමට විශාල පිරිසක් තවමත් උනන්දුවක් දක්වනවා. ගුවන් ගමන් සඳහා වෙන් කරවාගෙන තිබෙන මගීන්ට තමන්ගේ ගුවන් සේවය සමඟ සම්බන්ධ වී නවතම තොරතුරු දැනගන්නා ලෙස බලධාරීන් දැනුම් දීලා තියෙනවා. ඉදිරියේදීත් ගිනිකන්දේ තත්ත්වය අනුව තීරණ ගන්නා බවයි ගුවන් තොටුපළ පාලනාධිකාරිය පවසන්නේ.

Discussion & Feedback