පසුගියදා සඳ වටා සාර්ථකව ගමන් කර නැවත පෘථිවියට පැමිණි ආටෙමිස් II මෙහෙයුමේ ගගනගාමීන් සිව්දෙනා, ඇමරිකාවේ කොලරාඩෝ ප්රාන්තයේ පිහිටි සුප්රසිද්ධ රෙඩ් රොක්ස් ඇම්ෆිතියටර් රංගභූමියේදී දහස් සංඛ්යාත ජනතාවක් හමුවුණා. දින දහයක කාලයක් අභ්යවකාශයේ ගත කළ රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්රිස්ටිනා කොච් සහ ජෙරමි හැන්සන් යන ගගනගාමීන් මෙහිදී උණුසුම් පිළිගැනීමකට ලක් වුණා. වසර 53කට පසු පෘථිවි කක්ෂයෙන් ඔබ්බට ගිය පළමු මිනිසුන් සහිත මෙහෙයුම මෙය වීම විශේෂත්වයක්. මෙම උත්සවයට 8,500කට අධික පිරිසක් සහභාගී වී සිටි අතර, ඔවුන් අභ්යවකාශ ගවේෂණය පිළිබඳව ගගනගාමීන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමටත් අවස්ථාව ලබා ගත්තා.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ මෙහෙයුම් අණදෙන නිලධාරී රීඩ් වයිස්මන් සඳහන් කළේ, ඔවුන් ගමන් කළ ‘ඉන්ටෙග්රිටි’ යානය ඉතා හොඳින් ක්රියාත්මක වූ බවයි. විශේෂයෙන්ම මිනිසුන්ට අභ්යවකාශ යානයක් තුළ ජීවත් වීමට, ආහාර ගැනීමට සහ වැඩ කිරීමට ඇති හැකියාව පිළිබඳව මෙම මෙහෙයුමෙන් විශාල දැනුමක් ලබා ගැනීමට හැකි වූ බව ඔහු පැවසුවා. ඉදිරියේදී ක්රියාත්මක වීමට නියමිත ආටෙමිස් III මෙහෙයුම සඳහා මෙම අත්දැකීම් ඉතා වැදගත් වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. නාසා ආයතනයේ නිලධාරීන් සහ ප්රධාන පෙළේ අභ්යවකාශ තාක්ෂණ ආයතන නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්වෙමින්, අනාගත අභ්යවකාශ ගවේෂණවල වැදගත්කම සහ ඇමරිකාවේ නායකත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළා. මෙම උත්සවය දේශීය සිසුන් සහ විද්යා ලෝලීන් සඳහා විශාල දිරිගැන්වීමක් වූ බවයි වාර්තා වන්නේ.

Discussion & Feedback