ඉන්දුනීසියාවේ රජය විසින් පාසල් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද නොමිලේ දිවා ආහාර ලබාදීමේ වැඩසටහන මේ වන විට විශාල ගැටලුවකට මුහුණ දී තිබෙනවා. පසුගිය දින තුන තුළ පමණක් පාසල් සිසුන් සහ ගුරුවරුන් දෙදහසකට අධික පිරිසක් මෙම ආහාර වේල් ලබා ගැනීමෙන් පසු ආහාර විෂවීමකට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම මධ්‍යම ජාවා ප්‍රදේශයේ පාසලක සිසුන් 777 දෙනෙකුට එකවර අසනීප වීමත් සමඟ මෙම තත්ත්වය බරපතළ වී තිබෙනවා. දරුවන් දැඩි ලෙස අසනීප වී පාසලේ වැසිකිළි පවා ප්‍රමාණවත් නොවන තත්ත්වයක් උද්ගත වූ බව විදුහල්පතිවරුන් පවසනවා.
මෙම ආහාර වේල්වල තිබූ කුකුළු මස්වලින් අමුතු ගඳක් හමන බවත්, ඒවා හරියට පිස නොතිබූ බවත් සිසුන් සහ දෙමාපියන් චෝදනා කරනවා. ආහාර ගත් දරුවන් බොහෝ දෙනෙකුට කරකැවිල්ල, වමනය සහ බඩේ අමාරුව වැනි රෝග ලක්ෂණ මතු වී තිබෙනවා. ඇතැම් දරුවන් රෝහල් ගත කිරීමට පවා සිදුවූ අතර, තවත් පිරිසක් ඇවිද ගැනීමට නොහැකි තරම් දුර්වල වී සිටියා. මේ සම්බන්ධයෙන් මේ වන විටත් බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ආහාර බෙදාහැරීමේ ආයතනවල වගකීම් විරහිතභාවය පිළිබඳව දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා.
ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝගේ ප්‍රධාන ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මේ වන විට දූෂණ චෝදනා සහ කළමනාකරණ ගැටලු නිසා දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා. ආහාර බෙදාහරින ආයතන සිදුවූ දේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියත්, දරුවන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර ප්‍රමාණවත් දැයි ජනතාව ප්‍රශ්න කරනවා. කෙසේ වෙතත්, අදාළ ආහාර සාම්පල පරීක්ෂා කරමින් පවතින අතර, වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව බලධාරීන් පවසනවා.

Discussion & Feedback