ෆෝක්ලන්ඩ් දූපත් ආශ්රිත මුහුදු තීරයේ තෙල් ගවේෂණ කටයුතුවල නිරත වන ‘නැවිටාස් පෙට්‍රෝලියම්’ (Navitas Petroleum) සමාගමට එරෙහිව අපරාධ නඩු පැවරීමට ආර්ජන්ටිනා රජය තීරණය කර තිබෙනවා. ආර්ජන්ටිනා ජනාධිපති ජේවියර් මිලේ මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ කළේ, තම රටේ අවසරයකින් තොරව මෙම දූපත් ආශ්‍රිතව තෙල් කැණීම් කරන සමාගම්වලට දැඩි සම්බාධක පනවන බවයි. ෆෝක්ලන්ඩ් දූපත් තමන්ට අයත් බවත්, එහි සිදුවන තෙල් කැණීම් ආර්ජන්ටිනාවේ ස්වෛරීභාවයට තර්ජනයක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කරනවා.
කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය රජය මෙම තීරණය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා. බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලයේ අමාත්‍ය කර්ස්ටන් මැක්නීල් පවසන්නේ ෆෝක්ලන්ඩ් දූපත් වැසියන්ගේ අනාගතය තීරණය කිරීමේ අයිතිය ඇත්තේ ඔවුන්ටම පමණක් බවයි. 1982 වසරේ පැවති යුද්ධයෙන් පසු දශක ගණනාවක් පුරා මෙම දූපත්වල අයිතිය සම්බන්ධයෙන් දෙරට අතර පවතින්නේ දැඩි මතභේදාත්මක තත්ත්වයක්. 2013 වසරේ පැවති ජනමත විචාරණයකදීත් දූපත් වැසියන් බහුතරයක් කැමැත්ත පළ කළේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ සිටීමටයි.
මේ වන විට ‘නැවිටාස්’ සමාගම ෆෝක්ලන්ඩ් දූපත් ආශ්රිත ‘සී ලයන්’ (Sea Lion) තෙල් ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියට ගෙන යන අතර, 2028 වසර වන විට එහි තෙල් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ආර්ජන්ටිනාව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැවසුවත්, අදාළ සමාගම් පවසන්නේ තමන් සතුව ෆෝක්ලන්ඩ් රජයෙන් ලබාගත් වලංගු බලපත්‍ර පවතින බවයි. මෙම ගැටුම ඉදිරියේදී දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට කෙබඳු බලපෑමක් එල්ල කරාවිද යන්න ලෝකයේම අවධානයට ලක්ව තිබෙනවා.

Discussion & Feedback