ඇපල් සමාගමේ දිගුකාලීන ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් සිය ධුරයෙන් ඉවත් වීමත් සමඟ, සමාගමේ ඉහළ කළමනාකාරීත්වයේ විශාල වෙනස්කම් රැල්ලක් දකින්න ලැබෙනවා. මේ අතරින් වඩාත්ම කැපී පෙනෙන සිදුවීම වන්නේ වසර ගණනාවක් ඇපල් ඇප් ස්ටෝර් (App Store) අංශය මෙහෙයවූ ෆිල් ෂිලර් සිය තනතුරෙන් ඉවත් වීමයි. 1987 වසරේ සිට ඇපල් සමඟ එක්ව සිටි ෂිලර්, ඉදිරියේදී ‘ඇපල් ෆෙලෝ’ (Apple Fellow) ලෙස කටයුතු කිරීමට නියමිත වුවත්, මෙය ඔහුගේ විශ්‍රාම යාමේ ආරම්භය බවයි බොහෝ දෙනා පවසන්නේ. එපික් ගේම්ස් ආයතනය සමඟ පැවති නීතිමය සටන්වලදී ඇපල් වෙනුවෙන් ඉදිරියෙන්ම සිටි පුද්ගලයා වන්නේද ඔහුයි.
ෂිලර්ගේ ඉවත්වීමත් සමඟ ඇප් ස්ටෝර් අංශයේ දෛනික කටයුතු කාර්සන් ඔලිවර් වෙත පැවරෙන අතර, මෙම අංශය අලෙවිකරණ අංශයෙන් ඉවත් කර සේවා අංශය යටතට පත් කිරීමට ඇපල් පියවර ගෙන තිබෙනවා. ඇපල් සමාගමෙන් පසුගිය කාලය පුරාම මෙවැනි ඉහළ පෙළේ නිලධාරීන් රැසක් ඉවත්ව ගියා. මෙහෙයුම් ප්‍රධානී ජෙෆ් විලියම්ස්, ඇපල් පේ (Apple Pay) ප්‍රධානී ජෙනිෆර් බේලි සහ විෂන් ප්‍රෝ (Vision Pro) ව්‍යාපෘතියේ ප්‍රධානී පෝල් මීඩ් වැනි ප්‍රබලයන් ඒ අතර සිටිනවා.
දැන් ඇපල් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ජෝන් ටර්නස් වැඩ භාරගෙන තිබෙනවා. ඔහුට පැවරී ඇති ප්‍රධානම අභියෝගය වන්නේ සමාගමේ ඉහළ කළමනාකාරීත්වයට නව පරපුරක නායකයන් පිරිසක් බඳවා ගනිමින්, ඇපල් සමාගමේ අනාගත ගමන සාර්ථක කර ගැනීමයි. තාක්ෂණික ලෝකයේ දැවැන්තයෙකු වන ඇපල් සමාගමේ මෙම වෙනස්කම් ඉදිරියේදී සමාගමේ නිෂ්පාදන සහ සේවාවන්ට කෙබඳු බලපෑමක් කරයිද යන්න ලොව පුරා සිටින බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

Discussion & Feedback