ඇපල් සමාගම විසින් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත කැමරාවක් සහිත අලුත්ම එයාර්පොඩ්ස් (AirPods) පිළිබඳ තොරතුරු මේ වන විට අන්තර්ජාලය ඔස්සේ කාන්දු වී තිබෙනවා. මැක් රූමර්ස් (MacRumors) වෙබ් අඩවියට අනුව, නවතම macOS 26.7 RC යාවත්කාලීනය තුළ මෙම උපාංගය ක්‍රියාත්මක වන ආකාරය දැක්වෙන වීඩියෝවක් සොයාගෙන තිබෙනවා. එහිදී පරිශීලකයෙකු පොතක් අතැතිව සිටින අතර, එම පොතේ ඇති දේ ගැන සිරි (Siri) සමඟ සංවාදයක නිරත වන ආකාරය දැකගන්න පුළුවන්. මෙහි ඇති ‘විෂුවල් ඉන්ටෙලිජන්ස්’ (Visual Intelligence) තාක්ෂණය මගින් පරිශීලකයා දකින දේවල් හඳුනාගෙන ඒ පිළිබඳ තොරතුරු ලබා දීමට මෙම එයාර්පොඩ්ස් වලට හැකියාව ලැබෙනවා.
මෙම නව උපාංගය බැලූ බැල්මට එයාර්පොඩ්ස් ප්‍රෝ 3 (AirPods Pro 3) වලට සමාන වුවත්, එහි දිගු දණ්ඩක් සහ දත්ත හුවමාරු වන බව පෙන්වන LED ආලෝකයක් අන්තර්ගත වන බවයි වාර්තා වෙන්නේ. කැමරාව වැසී ගියහොත් පරිශීලකයාට ඒ පිළිබඳව දැනුම් දීමේ පහසුකමද මෙහි තිබෙනවා. රේ-බෑන් මෙටා (Ray-Ban Meta) වැනි ස්මාර්ට් කණ්නාඩි දැනටමත් වෙළඳපොලේ තිබුණත්, ඇපල් සමාගම සිය ස්මාර්ට් කණ්නාඩි ව්‍යාපෘතියට පෙර මෙම තාක්ෂණය එයාර්පොඩ්ස් හරහා හඳුන්වා දීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබෙනවා. කෙසේ වෙතත්, මෙම නව උපාංගය 2026 වසරේ මුල් භාගයේදී වෙළඳපොළට නිකුත් කිරීමට ඇපල් සමාගම බලාපොරොත්තු වන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Discussion & Feedback