ඇපල් සමාගම විසින් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා හඳුන්වා දී ඇති ‘Hide My Email’ විශේෂාංගය තුළ බරපතල ආරක්ෂක දෝෂයක් පවතින බව පර්යේෂකයන් පිරිසක් අනාවරණය කර තිබෙනවා. සාමාන්‍යයෙන් මෙම පහසුකම මගින් පරිශීලකයාගේ සැබෑ විද්‍යුත් තැපැල් ලිපිනය සැඟවීමට තාවකාලික ලිපිනයක් ලබා දෙනවා. නමුත් ටයිලර් මර්ෆි නම් පර්යේෂකයා පවසන පරිදි, මෙම දෝෂය හරහා ඉතා පහසුවෙන් පරිශීලකයාගේ සැබෑ විද්‍යුත් තැපැල් ලිපිනය හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. ඔහු වසරකට පෙර මේ පිළිබඳව ඇපල් සමාගමට දැනුම් දුන්නත්, මෙතෙක් ඒ සඳහා නිසි විසඳුමක් ලැබී නොමැති වීම කනගාටුදායක කරුණක්.
මෙම දෝෂය නිසා පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති අතර, විශේෂයෙන්ම දත්ත එක්රැස් කරන වෙබ් අඩවි හරහා පුද්ගලික තොරතුරු කාන්දු වීමේ අවදානමක් පවතිනවා. මීට පෙරද ඇපල් සමාගමේ විවිධ පෞද්ගලිකත්ව ආරක්ෂණ මෙවලම් සම්බන්ධයෙන් මෙවැනිම චෝදනා එල්ල වී තිබුණා. විශේෂයෙන්ම අයිෆෝන් වල පෞද්ගලිකත්ව සැකසුම් ක්‍රියාත්මක කර තිබියදීත් දත්ත කාන්දු වීම සහ වයි-ෆයි සම්බන්ධතා වලදී සැබෑ ලිපින හෙළි වීම වැනි සිදුවීම් මීට උදාහරණ ලෙස දැක්විය හැකියි.
ඇපල් සමාගම තම වෙළඳ නාමය ගොඩනඟා ඇත්තේ පෞද්ගලිකත්වයට මුල් තැන දෙමින් වුවත්, මෙවැනි දෝෂ නිසා පරිශීලකයන්ගේ විශ්වාසය බිඳ වැටීමේ අවදානමක් තිබෙනවා. එම නිසා, මෙම ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දීම ඇපල් සමාගමේ වගකීමක්. ඔබත් මෙම විශේෂාංගය භාවිතා කරන්නේ නම්, ඉදිරියේදී සමාගම විසින් නිකුත් කරන මෘදුකාංග යාවත්කාලීන කිරීම් (Software Updates) පිළිබඳව දැඩි අවධානයෙන් සිටීම ඉතා වැදගත්.

Discussion & Feedback