ඇපල් සමාගමේ දිගුකාලීන ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ගෙන් පසුව, ජෝන් ටර්නස් මේ සතියේදී එම තනතුරේ වැඩ භාරගත්තා. ඒත් එක්කම ඇපල් සමාගම ටර්නස් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 58ක දැවැන්ත වැටුප් පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ මුදලට වාර්ෂික වැටුප ලෙස ඩොලර් මිලියන 3ක් සහ 2027 මූල්‍ය වර්ෂය සඳහා වටිනාකම ඩොලර් මිලියන 55ක් වන කොටස් ප්‍රදානයන් ඇතුළත් වෙනවා. ටර්නස්ගේ මෙම කොටස් ප්‍රදානයන්ගෙන් 75%ක්ම සමාගමේ කාර්යසාධනය මත පදනම් වූ ඒවා වීම විශේෂත්වයක්.
මේ අතර, ටිම් කුක් තවදුරටත් සමාගමේ විධායක සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, ඔහුට වාර්ෂික වැටුප ලෙස ඩොලර් මිලියන 2ක් සහ ඩොලර් මිලියන 45ක කොටස් ප්‍රදානයක් හිමිවෙනවා. පසුගිය වසර 15 පුරා ඇපල් සමාගම ලෝකයේ ඉහළම අගයක් ගන්නා සමාගමක් බවට පත් කිරීමට කුක් විශාල දායකත්වයක් ලබා දුන්නා. ඔහු දැන් ප්‍රධාන වශයෙන් ලෝක නායකයන් සමඟ සම්බන්ධ වෙමින් ප්‍රතිපත්තිමය කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතයි.
ඇපල් සමාගමේ වසර 25ක අත්දැකීම් ඇති ජෝන් ටර්නස්, සැප්තැම්බර් 9 වැනිදා පැවැත්වෙන ‘Surprise and Shine’ විශේෂ වැඩසටහන හරහා ඇපල් ප්‍රජාව හමුවීමට සූදානම් වෙනවා. ටිම් කුක්ගේ නායකත්වය යටතේ ඇපල් සමාගම ඩොලර් බිලියන 350ක සිට ඩොලර් ට්‍රිලියන 4.7ක වෙළඳපොළ වටිනාකමක් දක්වා වර්ධනය වූ අතර, නව නායකත්වය යටතේ සමාගම ඉදිරියටත් සාර්ථක ගමනක් යනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback