ලොව ප්‍රථම ප්‍රසිද්ධ සූපවේදියා ලෙස සැලකෙන ඇන්ටොනින් කැරෙම්ගේ ජීවිත කතාව පාදක කරගෙන නිර්මාණය වුණු ජනප්‍රිය ‘Carême’ කතාමාලාවේ දෙවන සමය නිෂ්පාදනය කරන්න Apple TV ආයතනය මේ වන විට තීරණය කරලා තියෙනවා. පසුගිය අප්‍රේල් මාසයේදී විකාශය වුණු මේ කතාමාලාවට ලොව පුරා ඉහළ ප්‍රතිචාර ලැබුණු අතර, මෑතකදී එය ජාත්‍යන්තර එමී සම්මාන උළෙලේ හොඳම නාට්‍යමය කතාමාලාව සඳහාත් නිර්දේශ වුණා. මාටින් බෝබුලොන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මේ කතාමාලාවේ ප්‍රධාන චරිතය රඟපාන්නේ ප්‍රංශයේ දක්ෂ නළුවෙක් වන බෙන්ජමින් වොයිසින් විසින්.
නැපෝලියන් බොනපාට්ගේ යුගයේ පැරිස් නුවර දුප්පත්කමින් පිරුණු පසුබිමක ඉපදුණු කැරෙම්, ලොව විශිෂ්ටතම සූපවේදියා වීමේ සිහිනය පසුපස හඹා යන ආකාරය මෙහිදී අපට දැකගන්න පුළුවන්. නමුත් ඔහුගේ දක්ෂතාවය නිසාම ඔහුට බලවත් දේශපාලනඥයන්ගේ අවධානය යොමු වෙනවා. ඒ හරහා ඔහුට රහස් ඔත්තුකරුවෙකු ලෙස කටයුතු කිරීමට සිදුවීම කතාවේ කුතුහලය තවත් වැඩි කරනවා. කීර්තිය, ධනය සහ බලය වෙනුවෙන් ඔහුට තමන්ගේ ආදරය සහ ජීවිතය පවා පරදුවට තියන්න සිදුවෙනවාද කියන ගැටලුව මෙහිදී මතු වෙනවා.
ඉයන් කෙලීගේ කෘතියක් ඇසුරින් නිර්මාණය වුණු මේ කතාමාලාවේ දෙවන සමයේ රූගත කිරීම් ලබන සතියේදී පැරිස් නුවරදී ආරම්භ කිරීමට නියමිතයි. ටියුලරිස් මාලිගය සහ ෆොන්ටේන්බ්ලෝ වැනි ඓතිහාසික ස්ථාන රැසකදී මෙහි දර්ශන රූගත කරනවා. පළමු සමයට ලැබුණු සාර්ථකත්වයත් එක්කම, දෙවන සමය තුළින් කැරෙම්ගේ ජීවිතයේ තවත් නොදුටු පැතිකඩ රැසක් ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන් වේවි.

Discussion & Feedback