ඇපල් සමාගම විසින් තමන්ගේ රහස්‍ය තොරතුරු සහ තාක්ෂණික දත්ත සොරකම් කළ බව පවසමින් ඕපන් ඒ අයි (OpenAI) ආයතනයට එරෙහිව ෆෙඩරල් උසාවියේ නඩුවක් ගොනු කර තිබෙනවා. ඇපල් සමාගමේ හිටපු සේවකයින් කිහිප දෙනෙක් ඕපන් ඒ අයි ආයතනයට බඳවා ගැනීමෙන් පසුව, ඔවුන් හරහා ඇපල් සමාගමේ අභ්‍යන්තර තොරතුරු සහ නිෂ්පාදන සැලසුම් ලබාගත් බවටයි මෙහිදී චෝදනා එල්ල වෙන්නේ. විශේෂයෙන්ම ඇපල් සමාගමේ වසර ගණනාවක් සේවය කළ ප්‍රධාන නිලධාරීන් දෙදෙනෙක් සහ ජොනී අයිව් විසින් ආරම්භ කළ ‘අයෝ ප්‍රොඩක්ට්ස්’ (io Products) ආයතනය හරහා මෙම තොරතුරු ලබාගෙන ඇති බව ඇපල් පවසනවා.
ඇපල් සමාගම තවදුරටත් පවසන්නේ, ඕපන් ඒ අයි ආයතනය රැකියා සම්මුඛ පරීක්ෂණවලදී පවා ඇපල් සමාගමේ රහස්‍ය කොටස් සහ දත්ත රැගෙන එන ලෙස සේවකයින්ට බලපෑම් කර ඇති බවයි. මේ වන විට ඕපන් ඒ අයි ආයතනය තමන්ගේම දෘඩාංග නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් වන අතර, ඒ සඳහා ඇපල් සමාගමේ සොරකම් කළ රහස්‍ය තොරතුරු භාවිතා කරන බවට චෝදනා එල්ල වෙනවා. කෙසේ වෙතත්, ඕපන් ඒ අයි ප්‍රකාශකයෙකු පවසන්නේ තමන් වෙනත් සමාගම්වල රහස්‍ය තොරතුරු ලබා ගැනීමට උනන්දුවක් නොදක්වන බවයි.
ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් මේ වසර අවසානයේදී සිය ධුරයෙන් ඉවත් වීමට නියමිතව තිබියදී මෙවැනි බරපතල නීතිමය ගැටුමක් ඇතිවීම තාක්ෂණික ලෝකයේ විශාල කතාබහකට ලක්ව තිබෙනවා. ඇපල් සමාගම උසාවියෙන් ඉල්ලා සිටින්නේ ඕපන් ඒ අයි ආයතනය සතු ඇපල් සමාගමේ රහස්‍ය තොරතුරු භාවිතය වහාම නතර කරන ලෙසත්, ඒ වෙනුවෙන් විශාල වන්දි මුදලක් ලබා දෙන ලෙසත්ය.

Discussion & Feedback