ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වන ඇපල් ආයතනය මේ වන විට සිය සේවා අංශයේ ග්රාහකයන් සංඛ්‍යාව බිලියන 1.5 ඉක්මවා යාමට සමත් වෙලා තියෙනවා. නමුත් පසුගිය කාර්තුවේදී ඔවුන්ගේ සේවා අංශයේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 30.74ක් ලෙස වාර්තා වුණත්, එය වෙළඳපොළ විශ්ලේෂකයන් බලාපොරොත්තු වුණු ඩොලර් බිලියන 31.22ක ඉලක්කය සපුරා ගැනීමට අපොහොසත් වුණා. මේ හේතුවෙන් ඇපල් සමාගමේ කොටස් මිලෙහි යම් පසුබෑමක් දකින්න ලැබුණා.
මෙම ආදායම් අඩුවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ජංගම දුරකථන ක්‍රීඩා ක්ෂේත්රයේ ඇති වූ මන්දගාමී තත්ත්වය සහ ඇප් ස්ටෝර් (App Store) සම්බන්ධයෙන් පනවා ඇති නව නීතිමය තත්ත්වයන් බව ඇපල් මූල්‍ය ප්‍රධානියා පවසනවා. විශේෂයෙන්ම ඇප් ස්ටෝර් හරහා සිදුකරන ගෙවීම්වලදී සමාගමට ලැබෙන කොමිස් මුදල්වලට බලපෑම් එල්ල වීම මෙයට හේතුවක්. මීට අමතරව විදේශ විනිමය අනුපාතවල වෙනස්කම් සහ පසුගිය කාලයේ සාර්ථක වූ චිත්‍රපට ප්‍රදර්ශනවලින් ලැබුණු ආදායම වැනි සාධක ද මෙම මූල්‍ය වාර්තාවට බලපෑවා.
කෙසේ වෙතත්, ඇපල් සමාගම තවමත් සිය සේවා අංශය පිළිබඳව ඉතා සුබවාදීව කටයුතු කරනවා. ඇපල් මියුසික්, ඇපල් ටීවී, සහ ක්ලවුඩ් සේවා වැනි අංශවලින් වාර්තාගත ආදායමක් ලැබී තිබීම ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු ඉහළ නංවා තිබෙනවා. ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත නව සේවා සහ ගෙවීම් ක්‍රමවේද හරහා නැවතත් සිය ආදායම් වර්ධනය කර ගැනීමට හැකි වනු ඇති බවයි එම සමාගම විශ්වාස කරන්නේ.

Discussion & Feedback