ලොව ප්රමුඛතම තාක්ෂණික සමාගමක් වන ඇපල්, ඔවුන්ගේ ජනප්රිය සංගීත ප්රවාහ සේවාව වන ‘ඇපල් මියුසික්’ සහ ‘ඇපල් වන්’ පැකේජ සඳහා මාසික ගාස්තු ඉහළ දැමීමට පියවර අරගෙන තියෙනවා. බලපත්ර ලබා ගැනීමේ පිරිවැය ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඇපල් සමාගම නිල වශයෙන් ප්රකාශ කරන්නේ. මේ අනුව, ඇපල් මියුසික් තනි පුද්ගල සැලැස්ම ඩොලර් 10.99 සිට 11.99 දක්වාත්, පවුලේ සැලැස්ම ඩොලර් 16.99 සිට 19.99 දක්වාත් ඉහළ ගිහින් තියෙනවා. ශිෂ්ය සැලැස්ම සඳහාත් ඩොලර් එකක වැඩිවීමක් සිදුවෙලා තියෙනවා.
ඇපල් මියුසික් වලට අමතරව, ඔවුන්ගේ විවිධ සේවාවන් එකට ඇතුළත් කරලා තියෙන ‘ඇපල් වන්’ බන්ඩල් පැකේජ වල මිල ගණන් වලත් වෙනස්කම් සිදුවෙලා තියෙනවා. එහිදී පවුලේ සැලැස්ම සහ ප්රිමියර් සැලැස්ම සඳහා මිල ඉහළ ගියත්, තනි පුද්ගල පැකේජයේ මිලේ කිසිදු වෙනසක් වෙලා නැහැ. මීට පෙර 2022 වසරේදීත් ඇපල් මියුසික් ගාස්තු ඉහළ දැමූ අතර, මේ වන විට ස්පොටිෆයි වැනි අනෙකුත් ප්රධාන සේවාවන් ද තම මිල ගණන් ඉහළ දමා තිබීම විශේෂත්වයක්. කෙසේ වෙතත්, මෙම මිල වැඩිවීම් සමඟ වුවත් ඇපල් මියුසික් සේවාව තවමත් තරඟකාරී මිලකට ලබාගන්න පුළුවන් බවයි වාර්තා වෙන්නේ. ඇපල් සමාගම මීට පෙර ඇපල් ටීවී සේවාවේ මිල ගණන් ද ඉහළ දැමූ අතර, ඉදිරියේදීත් මෙවැනි සේවා සඳහා ගාස්තු සංශෝධනය වීමේ ඉඩකඩ පවතිනවා.

Discussion & Feedback