ඇපල් සමාගම සහ බ්‍රිතාන්‍ය රජය අතර මේ දිනවල ලොකු ගැටුමක් ඇතිවෙලා තියෙනවා. ඒ, බ්‍රිතාන්‍ය රජය විසින් ඇපල් සමාගමේ පරිශීලකයන්ගේ දත්ත වෙත ප්‍රවේශ වීමට ඉල්ලා සිටින රහසිගත නියෝගයකට එරෙහිව ඇපල් සමාගම නීතිමය පියවර ගැනීම නිසයි. බ්‍රිතාන්‍ය රජය විසින් නිකුත් කරපු මේ ‘තාක්ෂණික හැකියාව පිළිබඳ දැනුම්දීම’ මගින් ඇපල් සමාගමේ iCloud දත්තවලට රහසින් ඇතුළු වෙන්න අවසර ඉල්ලනවා. ඇත්තටම මේක ඇපල් සමාගමේ ‘Advanced Data Protection’ (ADP) කියන ආරක්ෂිත පද්ධතියට පිටුපසින් ඇතුළු වෙන්න හදන උත්සාහයක් විදියටයි විචාරකයන් දකින්නේ. මේ පද්ධතිය හරහා දත්ත එන්ක්‍රිප්ට් කරලා තියෙන නිසා ඇපල් සමාගමටවත් ඒ දත්ත බලන්න බැහැ.
මීට කලින් 2025 මුල් භාගයේදීත් බ්‍රිතාන්‍ය රජය මෙවැනිම නියෝගයක් නිකුත් කළා. ඒ වෙලාවේ ඇපල් සමාගම බ්‍රිතාන්‍ය පරිශීලකයන්ට ADP පහසුකම ලබා දීම තාවකාලිකව නැවැත්තුවා. පසුව ඇමරිකානු රජයේ මැදිහත්වීම මත එම නියෝගය ඉවත් කරගත්තත්, පසුගිය ඔක්තෝම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය රජය නැවතත් දෙවැනි වරටත් මෙවැනිම නියෝගයක් නිකුත් කර තිබෙනවා. මේ නියෝගයට එරෙහිව ඇපල් සමාගම දැන් බ්‍රිතාන්‍යයේ විමර්ශන බලතල පිළිබඳ විනිශ්චය සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. තමන්ගේ පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න ඇපල් සමාගම මේ විදියට දිගින් දිගටම සටන් කිරීම තාක්ෂණික ලෝකයේ ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback