ඇපල් සමාගම විසින් වසර හතරකට පමණ පසු ඉන්දියාවේදී තම සේවාවන් සඳහා නැවතත් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ පහසුකම හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා. මීට පෙර ඉන්දියාවේ පැවති ගෙවීම් නියාමන ක්‍රමවේදයන්හි සිදුවූ වෙනස්කම් හේතුවෙන් ඇපල් සමාගමට මෙම පහසුකම තාවකාලිකව අත්හිටුවීමට සිදුවුණා. මේ වන විට අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වන මෙම නව වෙනස්කම හරහා පරිශීලකයන්ට තම වීසා (Visa) හෝ මාස්ටර්කාඩ් (Mastercard) කාඩ්පත් භාවිතයෙන් iCloud+, Apple Music සහ App Store හරහා පහසුවෙන් ගෙවීම් සිදුකිරීමට හැකියාව ලැබෙනවා.
ඉන්දීය මහ බැංකුව විසින් 2021 වසරේදී හඳුන්වා දුන් නව නියාමන රාමුවට අනුකූලව ගෙවීම් පද්ධති යාවත්කාලීන කිරීම නිසා මෙම පහසුකම නැවත ලබා දීමට ඇපල් සමාගමට හැකි වී තිබෙනවා. මීට පෙර ඉන්දීය පරිශීලකයන්ට UPI, නෙට් බැංකින් හෝ ඇපල් ගිණුමේ ශේෂය පමණක් භාවිත කිරීමට සිදුවී තිබූ අතර, මෙම නව පියවර නිසා ග්රාහකයන්ට වඩාත් පහසු සහ වේගවත් අත්දැකීමක් ලබාගත හැකියි. කෙසේ වෙතත්, ඇපල් පේ (Apple Pay) සේවාව ඉන්දියාවට හඳුන්වා දීම සම්බන්ධයෙන් මෙතෙක් නිල තොරතුරක් ලැබී නැතත්, මෙම වෙනස්කම නිසා ඒ පිළිබඳව යළිත් කතාබහක් ඇති වී තිබෙනවා.
ගෝලීය වශයෙන් විවිධ රටවල පවතින නීති රෙගුලාසිවලට අනුව තම සේවාවන් සකස් කර ගැනීමට ඇපල් සමාගම මේ වන විට උත්සාහ දරමින් සිටිනවා. යුරෝපය, ජපානය සහ දකුණු කොරියාව වැනි රටවලදීත් මෙවැනිම නියාමන වෙනස්කම්වලට අනුව ඇපල් සමාගම තම App Store සහ ගෙවීම් ක්‍රමවේදයන් වෙනස් කිරීමට කටයුතු කළා. ඉන්දියාවේදී සිදුවූ මෙම නව වෙනස්කම මගින් එරට ඇපල් සේවාවන් භාවිත කරන පිරිසට වඩාත් පහසුවෙන් සිය දායකත්වයන් අලුත් කර ගැනීමට සහ ගෙවීම් සිදු කිරීමට අවස්ථාව උදාවී තිබෙනවා.

Discussion & Feedback