ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ පිහිටි ලේක් මීඩ් (Lake Mead) ජලාශයේ ජල මට්ටම වාර්තාගත ලෙස පහළ යාම නිසා එහි සැඟවී තිබූ මානව අස්ථි කොටස් කිහිපයක් සොයා ගැනීමට බලධාරීන්ට හැකි වෙලා තියෙනවා. බෝල්ඩර් බීච් ප්‍රදේශයේ සංචාරයක නිරත වූ පිරිසකට දත් සහිත හකු ඇටයක් ඇතුළු අස්ථි කොටස් කිහිපයක් දැකගන්න ලැබුණු අතර, පසුව ඔවුන් ඒ ගැන බලධාරීන්ට දැනුම් දී තිබෙනවා. මේ වන විටත් පොලිසිය සහ ජාතික උද්‍යාන සේවය එක්ව මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් ඉන්නවා.
ඇත්තටම මේ ජලාශයේ ජල මට්ටම 2000 වසරේ සිටම ක්‍රමයෙන් පහළ යමින් පවතින අතර, පසුගිය සතියේදී එය මීට පෙර වාර්තා වූ අඩුම මට්ටමටත් වඩා පහළ ගොස් තිබෙනවා. දේශගුණික විපර්යාස සහ පවතින දැඩි නියඟය නිසා ජලාශයේ ජලය සිඳී යාමෙන් මෙවැනි අතීතයේ සැඟවුණු දේවල් මතු වීම ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වෙනවා. හංගේරියාවේ ඩැනියුබ් ගංගාවෙන් දෙවන ලෝක යුද්ධ සමයේ භටයින්ගේ සිරුරු සහ යතුරුපැදි හමුවීමත්, බ්‍රිතාන්‍යයේ ජලාශයකින් යටවී තිබූ පැරණි ගම්මානයක නටබුන් මතු වීමත් මීට හොඳ උදාහරණ විදිහට පෙන්වා දෙන්න පුළුවන්. කොහොම වුණත්, ලේක් මීඩ් ජලාශයෙන් හමුවූ මේ අස්ථි කොටස් කාගේද යන්න තවමත් අභිරහසක් වෙලා තියෙනවා.

Discussion & Feedback