තමන්ගේම කෘත්‍රිම බුද්ධි මාදිලියක් වන ‘ක්ලෝඩ්’ (Claude) මගින් අහම්බෙන් ආයතන තුනක පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වූ බව ඇන්ත්‍රොපික් (Anthropic) ආයතනය පසුගියදා හෙළි කළා. සයිබර් ආරක්ෂණ පරීක්ෂණ සිදුකරමින් සිටියදී මෙම සිදුවීම් වාර්තා වී තිබෙනවා. මීට පෙර ඕපන් ඒ.අයි (OpenAI) ආයතනයත් මෙවැනිම සිදුවීමක් වාර්තා කිරීමෙන් පසුවයි ඇන්ත්‍රොපික් ආයතනය තමන්ගේ පද්ධති ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළේ. පරීක්ෂණ සඳහා යොදාගත් පරිසරයේ තිබූ වැරදි සැකසුමක් නිසා මෙම මාදිලිවලට අන්තර්ජාලයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබී තිබෙනවා.
මෙම සිදුවීමේදී ක්ලෝඩ් මාදිලි තුනක් අදාළ ආයතනවල සැබෑ පද්ධතිවලට ඇතුළු වී දත්ත ලබාගැනීමට සහ මෘදුකාංග පවා ස්ථාපනය කිරීමට කටයුතු කර තිබෙනවා. විශේෂම දේ තමයි, මේ මාදිලිවලට අන්තර්ජාලයට පිවිසීමට අවසරයක් නැති බව පැහැදිලිවම පවසා තිබුණත්, ඒවා තමන්ට ලැබුණු කාර්යය ඉටු කිරීම සඳහා සැබෑ පද්ධති පවා අභ්‍යාසයක කොටසක් ලෙස සලකා කටයුතු කර තිබීම. කෙසේ වෙතත්, මේ කිසිදු මාදිලියක් තමන්ගේම අරමුණකින් ක්‍රියාත්මක වී නැති බවත්, තමන්ට පැවරූ කාර්යය ඉටු කිරීමට පමණක් උත්සාහ කළ බවත් ඇන්ත්‍රොපික් ආයතනය අවධාරණය කරනවා.
මෙම සිදුවීම්වලින් පසුව, බලගතු කෘත්‍රිම බුද්ධි මාදිලි පරීක්ෂා කිරීමේදී වඩාත් දැඩි ආරක්ෂක පියවරයන් අනුගමනය කළ යුතු බවට ඔවුන් තීරණය කර තිබෙනවා. සාමාන්‍ය පරිශීලකයන් සඳහා නිකුත් කරන මාදිලිවල තිබෙන ආරක්ෂක පද්ධති මෙම පරීක්ෂණාත්මක මාදිලිවල නොතිබීම මෙයට ප්‍රධාන හේතුවක් බවයි ඔවුන් පවසන්නේ. අනාගතයේදී මෙවැනි දේ වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

Discussion & Feedback