කෘත්‍රිම බුද්ධි තාක්ෂණය නිපදවන ප්රමුඛ පෙළේ සමාගමක් වන ඇන්ත්‍රොපික් (Anthropic) ආයතනයට එරෙහිව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ගෙන තිබූ තීරණයක් එරට අධිකරණයක් විසින් අවලංගු කර තිබෙනවා. ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් ඇන්ත්‍රොපික් සමාගම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් ඔවුන්ව සැපයුම් දාම අවදානම් ලැයිස්තුවට ඇතුළත් කර තිබුණා. කෙසේ වෙතත්, කැලිෆෝනියා ප්‍රාන්තයේ ෆෙඩරල් විනිසුරු රීටා ලින් ප්‍රකාශ කළේ මෙම තීරණය කිසිදු පදනමක් නැති, නීතිවිරෝධී පළිගැනීමක් බවයි. ඇන්ත්‍රොපික් සමාගම සිය AI ආකෘති ස්වයංක්‍රීය අවි සහ ජනතාව නිරීක්ෂණය කිරීම සඳහා භාවිත කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ප්රතිපත්තියක සිටීම මෙම ගැටුමට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
විනිසුරුවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජාතික ආරක්ෂාව යන වචනය පාවිච්චි කරමින් රජයට විවේචන එල්ල කරන ආයතන දඬුවම් කිරීමට රජයට අයිතියක් නැති බවයි. ඇන්ත්‍රොපික් සමාගම සතුව රජයේ දත්තවලට රහසිගතව ඇතුළු වීමට කිසිදු හැකියාවක් නොමැති බවත්, රජයම ඔවුන්ගේ තාක්ෂණය වෙනත් කටයුතු සඳහා යොදා ගැනීමට උත්සාහ කරන බවත් අධිකරණයේදී තහවුරු වුණා. මෙම තීන්දුව සම්බන්ධයෙන් සතුට පළ කරන ඇන්ත්‍රොපික් සමාගම, ඉදිරියේදීත් ඇමරිකානු ජාතික ආරක්ෂාව වෙනුවෙන් රජය සමඟ එක්ව වැඩ කිරීමට බලාපොරොත්තු වන බව පවසා තිබෙනවා. මෙය තාක්ෂණික සමාගම්වල අයිතිවාසිකම් වෙනුවෙන් ලැබුණු විශාල ජයග්‍රහණයක් ලෙසයි විචාරකයින් දකින්නේ.

Discussion & Feedback