ලෝක ප්‍රකට බොක්සිං ශූර ඇන්තනි ජෝෂුවා ගමන් ගත් රථයක් නයිජීරියාවේදී අනතුරට ලක්වීමෙන් ඔහුගේ සමීපතම මිතුරන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට නඩු විභාගයක් ආරම්භ වෙලා තියෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේදී ජෝෂුවාගේ පියා හමුවීමට යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත්තේ අදාල රියදුරු අඩෙනියි මොබොලාජි කයෝඩේ විසින් වෙනත් වාහනයක් පසුකර යාමට උත්සාහ කිරීමේදීයි. එහිදී රථය පාලනයෙන් ගිලිහී ගොස් නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් ජෝෂුවාගේ පෞද්ගලික පුහුණුකරු ලතීෆ් අයෝඩෙලේ සහ ශක්තිමත් පුහුණුකරු සීනා ගාමි යන අය ජීවිතක්ෂයට පත්වුණා. රියදුරුට එරෙහිව නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සහ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම වැනි චෝදනා එල්ල වී තිබුණත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.
මෙම නඩු විභාගයේදී පොලිස් නිලධාරීන් පවසා සිටියේ අනතුර සිදුවූ ස්ථානයේ තිබී සෝයා බෝංචි සහ අනතුරට ලක්වූ රථයේ තිබූ දේවල් කිහිපයක් සොයා ගැනීමට හැකි වූ බවයි. කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇන්තනි ජෝෂුවාගෙන් තවමත් ප්‍රකාශයක් ලබාගෙන නොමැති බවත්, ඔහුගේ දුරකථන අංකය නොමැති වීම නිසා ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවත් පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. තම මිතුරන් දෙදෙනාගේ අභාවය සම්බන්ධයෙන් ජෝෂුවා සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා සංවේදී සටහනක් තබා තිබුණා. ඔවුන් දෙදෙනා තමාට ඉතා සමීප සහ වටිනා මිතුරන් බවත් ඔවුන්ගේ වියෝව තමාට දරාගත නොහැකි බවත් ඔහු පවසා තිබුණා. මෙම නඩුව සැප්තැම්බර් 10 වන දින දක්වා කල් තබා තිබෙනවා.

Discussion & Feedback