ඇමරිකාවේ ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක් වන ‘ඇෂුවරන්ස් ඇමරිකා’ (AssuranceAmerica) ආයතනයට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් මිලියන 6.9කට අධික පිරිසකගේ පෞද්ගලික දත්ත කාන්දු වී තිබෙනවා. මේ වසරේ ඇමරිකාවේ වාර්තා වූ විශාලතම රියදුරු බලපත්‍ර දත්ත කාන්දුව මෙය ලෙසයි සැලකෙන්නේ. පසුගිය මාර්තු 17 වැනිදා ඔවුන්ගේ පද්ධතියට අනවසරයෙන් ඇතුළු වූ හැකර්වරුන් පිරිසක් පාරිභෝගිකයන්ගේ නම්, ලිපිනයන් සහ රියදුරු බලපත්‍ර අංක ඇතුළු තවත් රහසිගත තොරතුරු රැසක් සොරාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. මෙම සිදුවීමෙන් පාරිභෝගිකයන්ගේ රක්ෂණ ඔප්පු සහ වාහන සම්බන්ධ තොරතුරු පවා අවදානමට ලක්ව තිබෙනවා.
සමාගම පවසන පරිදි, ඔවුන්ගේ සේවකයෙකුගේ පරිගණක ගිණුමක් හැකර්වරුන් විසින් ඉලක්ක කර ගනිමින් මෙම දත්ත සොරාගෙන ඇති අතර, ජුනි 15 වැනිදා වන විට ඔවුන් මේ පිළිබඳව සම්පූර්ණ විමර්ශනයක් අවසන් කර තිබෙනවා. මෙවැනි රියදුරු බලපත්‍ර අංක වැරදි අතට පත් වීමෙන් පුද්ගලයන් වංචනික ක්‍රියාවලට සහ අනන්‍යතා සොරකම්වලට ලක්වීමේ දැඩි අවදානමක් පවතිනවා. මේ වන විට අදාළ පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින මෙවැනි ගැටලු නිසා අන්තර්ජාලය හරහා පෞද්ගලික තොරතුරු ලබා දීමේදී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බවයි තාක්ෂණික විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback