ප්රංශයේ පැවැත්වුණු ලෝක ප්රසිද්ධ ඇනසි ජාත්යන්තර සජීවිකරණ චිත්රපට උළෙලේදී සිංගප්පූරු නිර්මාණයක් වන ‘ද වයලිනිස්ට්’ (The Violinist) චිත්රපටය ඉහළම සම්මානය වන ක්රිස්ටල් සම්මානය දිනාගන්න සමත් වුණා. වසර 15කට පසුව ඇනසි තරගාවලියකට සුදුසුකම් ලැබූ පළමු සිංගප්පූරු චිත්රපටය මෙය වීම විශේෂත්වයක්. අර්වින් හෑන් විසින් අධ්යක්ෂණය කළ මෙම චිත්රපටය, දෙවන ලෝක යුද්ධ සමයේ සිංගප්පූරුවේ ජීවත් වූ තරුණ වයලින් වාදකයන් දෙදෙනෙකුගේ ආදර කතාවක් සහ ඔවුන්ගේ සිහින බිඳ වැටීම වටා ගෙතී තිබෙනවා. ඩිස්නි සමාගමේ ප්රවීණයෙකු වන රාවුල් ගාර්ෂියා මෙහි සජීවිකරණ කටයුතු අධීක්ෂණය කර තිබීමත් කැපී පෙනෙන කරුණක්.
මේ අතර, ලුවී ක්ලිචිගේ ‘අයන් බෝයි’ (Iron Boy) චිත්රපටය ජූරි සම්මානය ඇතුළු සම්මාන කිහිපයක්ම දිනාගන්න සමත් වුණා. කොඳු ඇට පෙළේ ආබාධයකට ලක්වී යකඩ කෝර්සෙට් එකක් පැළඳීමට සිදුවන ගොවි පවුලක කුඩා පිරිමි ළමයෙකුගේ ජීවිත අරගලය මෙහි නිරූපණය වෙනවා. මීට අමතරව, ‘ඩෙකොරාඩෝ’ සහ ‘බ්ලේස්’ වැනි නිර්මාණ ද විවිධ අංශවලින් සම්මානයට පාත්ර වුණා. ජුනි 21 සිට 27 දක්වා පැවැත්වුණු මෙම 50 වන ඇනසි සජීවිකරණ උළෙල, ලොව පුරා සජීවිකරණ ශිල්පීන් සහ සිනමා ලෝලීන්ගේ දැඩි අවධානය දිනාගත් විශාලතම උළෙල බවට පත්වුණා. ට්රැවිස් නයිට් සහ බ්රැඩ් බර්ඩ් වැනි ප්රවීණයන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයක්.

Discussion & Feedback