ලෝඩ් ඔෆ් ද රින්ග්ස් රසිකයන් අතර ලොකු කතාබහක් ඇති කරපු ‘ද හන්ට් ෆෝ ගොලුම්’ චිත්රපටයේ රංගන ශිල්පීන් තෝරාගැනීම සම්බන්ධයෙන් මේ දවස්වල ලොකු විවේචනයක් එල්ල වෙලා තියෙනවා. ප්රධාන වශයෙන්ම මේ චිත්රපටයට සුදු ජාතික නළු නිළියන් විතරක් තෝරා ගැනීම ගැන තමයි ගොඩක් දෙනෙක් ප්රශ්න කරන්නේ. මේ ගැන බීබීසී මාධ්ය ආයතනය ඇන්ඩි සර්කිස්ගෙන් ප්රශ්න කරපු වෙලාවේ ඔහු කිව්වේ, තමන් මේ චිත්රපටය නිර්මාණය කරන්නේ හුදෙක් විවිධත්වය පෙන්වන්න කියලා නිකන්ම නිකන් නළු නිළියන් තෝරාගන්නා ‘ටිකින් බොක්සස්’ (ticking boxes) ක්රමයට නෙවෙයි කියලයි.
ටෝල්කින්ගේ කෘතිවල තියෙන නෝර්ස් මිථ්යා කතා සහ ෂයර් (Shire) ප්රදේශයේ තියෙන පසුබිම ගැන පැහැදිලි කරපු සර්කිස්, එහි ස්වභාවය අනුව චරිත තෝරාගැනීම සිදුවන බව සඳහන් කළා. ඒ වගේම ඔහු කිව්වේ, කතාවට අදාළ වන තැන්වලදී විවිධත්වය ගැන සැලකිලිමත් වෙනවා මිසක්, දේශපාලනිකව නිවැරදි වෙන්න කියලා ඕනෑවට වඩා චරිත ඇතුළත් කරන්න තමන් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලයි. කොහොම වුණත්, මේ චිත්රපටය සඳහා ඉයන් මැකලන්, එලයිජා වුඩ් වගේම අන්යා ටේලර්-ජෝයි සහ කේට් වින්ස්ලට් වැනි ජනප්රිය තරු රැසක් එකතු වෙලා ඉන්නවා.
මේ චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ ඇන්ඩි සර්කිස් විසින්මයි. ඔහු නැවතත් ගොලුම්ගේ චරිතයට පණ පොවනවා. ෆ්රෑන් වෝල්ෂ් සහ පිලිපා බොයෙන්ස් ඇතුළු පිරිසක් තිර රචනයෙන් දායක වන මේ දැවැන්ත නිර්මාණය 2027 දෙසැම්බර් 17 වැනිදා ලොව පුරා තිරගත වෙන්න නියමිතයි. රසිකයන් ගොඩක් දෙනෙක් මේ චිත්රපටය එනකම් බලාගෙන ඉන්නේ ලොකු බලාපොරොත්තු ගොඩක් එක්කයි.

Discussion & Feedback