අපි පාවිච්චි කරන ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් මගින් අපේ පිහිටීම හෙවත් ලොකේෂන් දත්ත රහසිගතව තෙවන පාර්ශවයන්ට සහ දැන්වීම්කරුවන්ට ලබා දෙන බව ඔබ දැන සිටියාද? බොහෝ විට කාලගුණ වාර්තා හෝ ෆිට්නස් ඇප්ස් සඳහා අපේ ලොකේෂන් එක ලබා දීම සාමාන්‍ය දෙයක් වුණත්, ඇප් නිර්මාණකරුවන් පවා නොදැනුවත්වම ඔවුන්ගේ ඇප්ස් වල ඇති ඇතැම් මෘදුකාංග කට්ටල (SDKs) මගින් මෙම දත්ත දැන්වීම් සමාගම් වෙත යොමු කරන බව ‘ඉලෙක්ට්‍රොනික් ෆ්‍රොන්ටියර් ෆවුන්ඩේෂන්’ (EFF) ආයතනය අනාවරණය කර තිබෙනවා. මෙහි ඇති බරපතලම කාරණය නම්, ඇප් එකට ලොකේෂන් අවසරය ලබා දුන් සැණින්, එම දත්ත ස්වයංක්‍රීයවම දැන්වීම්කරුවන් වෙතත් ලැබීමයි.
මෙම දත්ත එකතු කරන සමාගම් ඒවා විවිධ දත්ත තැරැව්කරුවන්ට විකුණා දමන අතර, අවසානයේදී මෙම තොරතුරු රජයන්, බුද්ධි අංශ හෝ හමුදා වැනි ආයතන අතට පත් වීමේ අවදානමක් පවතිනවා. EFF පවසන පරිදි, ඇප් නිර්මාණකරුවන් බොහෝ දෙනෙක් තමන්ගේ ඇප්ස් හරහා මෙවැනි දත්ත හුවමාරුවක් සිදුවන බව දන්නේ නැහැ. විශේෂයෙන්ම මිලියන ගණනක් බාගත කර ඇති ජනප්‍රිය ඇප්ස් පවා මෙලෙස දත්ත කාන්දු කරන බව පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. ඒ නිසා, අනවශ්‍ය දත්ත එකතු කිරීම් අක්‍රිය කරන ලෙසත්, පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය සුරක්ෂිත කිරීමට ප්‍රමුඛත්වය දෙන ලෙසත් ඔවුන් ඇප් නිර්මාණකරුවන්ට දැඩිව අවවාද කරනවා. ඔබත් ඇප් එකක් පාවිච්චි කරන විට ඒ සඳහා ලබා දෙන අවසරයන් ගැන මීට වඩා සැලකිලිමත් වීම ඉතා වැදගත්.

Discussion & Feedback