කැනඩාවේ ජනප්රියම ක්රීඩාවක් වන NHL හොකී තරගාවලිය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් තීරණයක් අරගෙන තියෙනවා. ඒ අනුව, ඇමසන් ප්රයිම් වීඩියෝ (Amazon Prime Video) ආයතනය සහ කැනඩාවේ ප්රධාන පෙළේ සන්නිවේදන සමාගමක් වන රොජර්ස් කමියුනිකේෂන්ස් අතර වසර 12ක විශේෂ ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. මේ ගිවිසුම යටතේ සෑම බදාදා දිනකම පැවැත්වෙන NHL හොකී තරග සජීවීව නැරඹීමේ සුවිශේෂී අයිතිය ඇමසන් ප්රයිම් වීඩියෝ වෙත හිමිවෙනවා. සැප්තැම්බර් 30 වැනිදා සිට ආරම්භ වන මෙම වැඩසටහන හරහා ඉංග්රීසි සහ ප්රංශ භාෂාවලින් තරග 26ක් සහ ප්ලේ-ඕෆ් වටයේ තරග ප්රයිම් වීඩියෝ හරහා රසිකයන්ට නැරඹීමට අවස්ථාව ලැබෙනවා.
මේ වෙනසත් එක්කම වසර 75ක් පුරා පැවති ‘Hockey Night in Canada’ වැඩසටහන රූපවාහිනී නාලිකාවලින් ඉවත් වී සම්පූර්ණයෙන්ම ස්ට්රීමින් (Streaming) තාක්ෂණය දෙසට හැරෙනවා. රොජර්ස් සමාගම සහ CBC අතර තිබූ ගිවිසුම අලුත් නොකිරීම නිසා මෙවැනි විශාල වෙනසක් සිදුවෙලා තියෙනවා. ලෝකයේ බොහෝ රටවල ක්රීඩා විකාශනයන් දැන් සාම්ප්රදායික රූපවාහිනී නාලිකාවලින් ගිලිහී නෙට්ෆ්ලික්ස්, යූටියුබ් සහ ඇමසන් වැනි ඩිජිටල් වේදිකා කරා ගමන් කරන බව අපිට පැහැදිලිවම පේනවා.
ඇමසන් ප්රයිම් වීඩියෝ ආයතනයේ ගෝලීය ක්රීඩා අංශයේ ප්රධානී ජේ මැරීන් පවසන්නේ, මෙම ගිවිසුම හරහා කැනඩාවේ සිටින ප්රයිම් සාමාජිකයන්ට උසස් තත්ත්වයේ ක්රීඩා අත්දැකීමක් ලබා දීමට හැකිවීම ගැන ඔවුන් ඉතාමත් සතුටු වන බවයි. රොජර්ස් සමාගමේ ප්රධාන විධායක නිලධාරී ටෝනි ස්ටැෆියරි පවසන්නේ, NHL හොකී යනු කැනඩාවේ තිබෙන වටිනාම ක්රීඩා අන්තර්ගතය බවත්, මෙම නව හවුල්කාරිත්වය මගින් එය තවත් ශක්තිමත් වන බවත්ය. ඉදිරියේදී හොකී ලෝලීන්ට තමන්ගේ ප්රියතම තරග ඉතා පහසුවෙන් අන්තර්ජාලය හරහා නැරඹීමට මේ හරහා මග පෑදෙනවා.

Discussion & Feedback