ලෝක ප්‍රකට ඇමසන් සමාගම තමන්ගේ ඇමරිකානු මෙහෙයුම් අංශවල සේවය කරන සේවකයින්ගේ පැයක අවම වැටුප ඩොලර් 20 දක්වා ඉහළ නංවන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව බෙදාහැරීමේ රියදුරන් සහ ගබඩා සේවකයින් ඇතුළු බොහෝ දෙනෙකුගේ පැයක වැටුප ඩොලරයකින් වැඩි වෙනවා. මේ වෙනසත් එක්ක ඔවුන්ගේ සාමාන්‍ය පැයක වැටුප ඩොලර් 24කට ආසන්න අගයක් ගන්නවා. සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති උදිත් මදන් කියන විදිහට, ඔවුන් ලබා දෙන අනෙකුත් වරප්‍රසාදත් එක්ක සේවකයෙකුගේ මුළු පැයක ආදායම ඩොලර් 32 ඉක්මවනවා. මේ සඳහා ඇමසන් සමාගම ඩොලර් බිලියන 1.5කට වඩා වැඩි මුදලක් ආයෝජනය කරනවා.
වැටුප් වැඩිවීමට අමතරව, සේවකයින්ට තවත් අලුත් වරප්‍රසාද රැසක් ලැබෙනවා. ඒ අතරට ‘ඩේ 1 ෆිනෑන්ෂල්’ බැංකු සේවාව, ෆෙඩරල් ක්‍රෙඩිට් යූනියන් සාමාජිකත්වය සහ ඔවුන්ටම අයිති හෝල් ෆුඩ්ස් වෙළඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී 20%ක වට්ටමක් ලැබෙනවා. ඔන්ලයින් ඇණවුම් කරන අයට 10%ක වට්ටමක් හිමි වෙනවා. මීට අමතරව නොමිලේ ප්‍රයිම් සාමාජිකත්වය, අධ්‍යාපන වැඩසටහන් සහ සෞඛ්‍ය රක්ෂණ වැනි දේවල් දැනටමත් ඔවුන්ට ලැබෙනවා.
කොහොම වුණත්, මේ පියවර ගැන සේවකයින් අතර තියෙන්නේ මිශ්‍ර ප්‍රතිචාරයක්. විශේෂයෙන්ම හෝල් ෆුඩ්ස් වට්ටම ගැන සේවකයින් සමහරක් සමාජ මාධ්‍යවල විහිළු කරලා තිබුණා. ඒ වෙළඳසැල්වල භාණ්ඩවල මිල සාමාන්‍යයෙන් වැඩි නිසා, වට්ටම ලැබුණත් සාමාන්‍ය වෙළඳසැලක මිලටම සමාන වෙනවා කියලා තමයි ඔවුන් කියන්නේ. කෙසේ වෙතත්, ඇමසන් සමාගම උත්සාහ කරන්නේ තමන්ගේ සේවකයින්ගේ ජීවන තත්ත්වය තවදුරටත් ඉහළ නංවන්නයි.

Discussion & Feedback