පසුගිය අගෝස්තු 15 වැනිදා කොළඹ වරාය නගරයේ පැවති යාත්‍රා සාදයකදී නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කළ බවට වාර්තා වූ සිද්ධිය සම්බන්ධයෙන් සේල් ලංකා චාටර් පෞද්ගලික සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව විසින් වරාය නගරයේ ස්ථාන තුනක සිදුකළ වැටලීම්වලදී මෙම යාත්‍රාවද පරීක්ෂාවට ලක්වූ අතර, එහිදී බලපත්‍ර නොමැතිව මත්පැන් ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. කෙසේ වෙතත්, සේල් ලංකා සමාගම පවසන්නේ එම සාදය සංවිධානය කළේ තෙවන පාර්ශවීය ආයතනයක් බවත්, තමන් යාත්‍රාව කුලියට ලබාදීම පමණක් සිදුකළ බවත්ය. මත්පැන් සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක් තමන්ට නොමැති බව ඔවුන් අවධාරණය කරනවා.
මෙම වැටලීම්වලදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. යාත්‍රාවට අමතරව බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කළ අවන්හලක් සහ බියර් පමණක් අලෙවි කිරීමට අවසර තිබියදී වෙනත් මත්පැන් තබාගෙන සිටි තවත් ස්ථානයක්ද සුරාබදු නිලධාරීන් විසින් වැටලුවා. මෙහිදී රුපියල් පනස් දහසකට වඩා වටිනා රෙමි මාටින් වැනි මිල අධික මත්පැන් බෝතල් රැසක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. රජයේ බදු ආදායමට හානි වන මෙවැනි නීතිවිරෝධී ක්‍රියා පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සේල් ලංකා සමාගම වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ තහවුරු නොකළ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසයි.

Discussion & Feedback