ඇල්ජීරියාවේ උතුරු ප්‍රදේශයේ පසුගිය දිනවල හටගත් දරුණු ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් දොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ එරට ජනාධිපති අබ්දෙල්මජිඩ් ටෙබුන් මහතා දැඩි තීරණයක් අරගෙන තියෙනවා. මේ ලැව්ගිනි හිතාමතාම ඇති කළ ඒවා විය හැකි බවට සැක පළ කරන ජනාධිපතිවරයා, වනාන්තර ගිනි තබන පුද්ගලයින්ට මරණ දඬුවම ලබා දීමට අවශ්‍ය නීති සංශෝධන සිදු කරන ලෙස අධිකරණ අමාත්‍යාංශයට නියෝග කර තිබෙනවා. ඇල්ජීරියාවේ දැනටත් මරණ දඬුවම නීති පොතේ තිබුණත්, 1993 වසරේ සිට කිසිදු ක්‍රියාත්මක කිරීමක් සිදුවී නැහැ. නමුත් මෙවර සිදුවූ විනාශය හමුවේ සැප්තැම්බර් 15 වන විට මෙම නව නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙනවා.
උතුරු අප්‍රිකානු කලාපයේ පවතින දැඩි උණුසුම් කාලගුණයත් සමඟ පසුගිය දින කිහිපය තුළ ඇල්ජීරියාවේ ලැව්ගිනි සියයකට අධික ප්‍රමාණයක් වාර්තා වුණා. මේ වන විට ඉන් බහුතරයක් පාලනය කර තිබුණත්, ගින්නෙන් නිවාස රැසක් විනාශ වී දහස් ගණනක් අවතැන් වී සිටිනවා. ජනාධිපතිවරයා පවසන්නේ ගින්නෙන් පීඩාවට පත් වූ පවුල් සඳහා වන්දි ලබා දීමටත්, හානි වූ නිවාස සහ අත්‍යවශ්‍ය සේවාවන් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමටත් පියවර ගන්නා බවයි. දේශගුණික විපර්යාස හේතුවෙන් මෙවැනි ස්වාභාවික ආපදා තව තවත් දරුණු වී ඇති බවත්, මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කරන බවත් බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරනවා.

Discussion & Feedback