ප්රයිම් වීඩියෝ ඔස්සේ විකාශය වන ජනප්රිය ‘රීචර්’ කතාමාලාවේ අනාගතය පිළිබඳව රසිකයන් තුළ තිබූ සැකයන් දුරු කරමින් ප්රධාන නළු ඇලන් රිච්සන් වැදගත් පියවරක් තබා තිබෙනවා. ලී චයිල්ඩ්ගේ නවකතා ඇසුරින් නිර්මාණය වූ මෙම කතාමාලාව, ටොම් කෲස්ගේ චිත්රපටවලටත් වඩා සාර්ථක ලෙස ජැක් රීචර්ගේ චරිතය ප්රේක්ෂකයන් අතරට ගෙන ඒමට සමත් වුණා. මේ වන විටත් තුන්වන වාරය අවසානයේදී ඉහළම ප්රේක්ෂක ප්රතිචාර ලබා ගැනීමට මෙම කතාමාලාව සමත් වී තිබෙනවා. දැනටමත් පස්වන වාරය සඳහාත් අවසර ලැබී ඇති අතර, රිච්සන්ගේ නිෂ්පාදන සමාගම වන ‘ඩාන්සිං ස්කෙලටන්’ හරහා ප්රයිම් වීඩියෝ සමඟ අත්සන් කළ නව වසර තුනක ගිවිසුම නිසා ඉදිරි වසර කිහිපය පුරාම රීචර් අපට නැරඹීමට ලැබෙන බව ස්ථිරයි.
ලී චයිල්ඩ්ගේ පොත් මාලාවේ පොත් තිහකට ආසන්න ප්රමාණයක් තිබෙන නිසා, මෙම කතාමාලාව තවත් වසර ගණනාවක් ඉදිරියට ගෙන යාමට ප්රමාණවත් කතා වස්තු තිබෙනවා. අනෙක් බොහෝ කතාමාලාවලට වඩා රීචර් වෙනස් වන්නේ පොතේ තිබෙන දේ එලෙසම පවත්වා ගනිමින්ම, ප්රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් ලබා දීමට එහි නිර්මාණකරුවන් සමත් වීම නිසයි. විශේෂයෙන්ම වාර්ෂිකව නව කතා වාරයක් නිකුත් කිරීම නිසා ප්රේක්ෂක උනන්දුව කිසිසේත් අඩු වී නැහැ. ඉදිරියේදී ‘නීග්ලි’ නමින් මෙම කතාමාලාවේ අතුරු කතා මාලාවක් (spin-off) ද එළිදැක්වීමට නියමිතයි. ඒ නිසා රීචර් රසිකයන්ට ඉදිරියේදී තවත් බොහෝ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback