තායිලන්තයේ ෆුකෙට් නුවර සිට ඉන්දියාවේ දිල්ලි බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයක් හදිසියේ ඇති වූ දරුණු වායු කැළඹීමකට (turbulence) ලක්වීම නිසා මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ගුවන් ගමන අතරතුරදී යානය හදිසියේම අඩි 300ක පමණ උසකින් පහළට කඩා වැටීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත්, නියමුවන්ගේ දක්ෂතාවය නිසා යානය දිල්ලි ගුවන්තොටුපළ වෙත ආරක්ෂිතව ගොඩබෑමට හැකි වුණා.
අනතුර සිදුවන අවස්ථාවේදී යානයේ මගීන් 13 දෙනෙකුට සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකුට සුළු තුවාල සිදුව තිබෙනවා. ගුවන් යානය දිල්ලියට ගොඩබෑ වහාම තුවාල ලැබූ පිරිස ගුවන්තොටුපළේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගත්තා. මේ වන විට ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති අතර, කාර්ය මණ්ඩලයේ එක් සාමාජිකයෙකුට තරමක් බරපතල තුවාල සිදුව ඇති බව සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල් කාර්යාලය සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් එයාර් ඉන්දියා සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ගුවන් ගමනේදී ඇති වූ මෙම අනපේක්ෂිත වායු කැළඹීම නිසා යානයේ උසෙහි හදිසි වෙනසක් සිදු වූ බවයි. මේ වන විට සියලුම මගීන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව යානයෙන් පිටව ගොස් තිබෙනවා. සිද්ධියට හේතු වූ කරුණු සොයා මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මගීන්ගේ ආරක්ෂාව තමන්ගේ ප්‍රමුඛතාවය බවයි ගුවන් සමාගම වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

Discussion & Feedback