කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ක්ෂේත්රයේ කැපී පෙනෙන චිප් නිෂ්පාදක සමාගමක් වන SambaNova Systems, මේ වන විට අමෙරිකානු ඩොලර් බිලියනයක දැවැන්ත ආයෝජනයක් දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා. මේ නවතම ආයෝජන වටයත් එක්ක සමාගමේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 11ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. General Atlantic ආයතනය ප්රමුඛ කරගෙන සිදුකළ මෙම මූල්‍ය වටයට තවත් ආයෝජකයින් රැසක් සම්බන්ධ වෙලා ඉන්නවා. විශේෂයෙන්ම පසුගිය පෙබරවාරි මාසයේදී සිය SN50 චිපය එළිදක්වමින් ඩොලර් මිලියන 350ක ආයෝජනයක් ලබාගෙන මාස පහකට පසුවයි ඔවුන් මේ විශාල ජයග්‍රහණය වාර්තා කරන්නේ.
මේ අතර, ලෝක ප්‍රකට JPMorganChase බැංකුව තම ආයතනික කටයුතු සඳහා SambaNova හි තාක්ෂණය යොදා ගැනීමට තීරණය කිරීම මේ සමාගමට ලැබුණු විශාල ජයග්‍රහණයක්. මේ ගැන අදහස් දක්වමින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රොඩ්රිගෝ ලියෑන් පවසන්නේ, බැංකු ක්ෂේත්රය වැනි සංවේදී අංශවලට තමන්ගේම ආරක්ෂිත යටිතල පහසුකම් ගොඩනගා ගැනීමට මෙය කදිම අවස්ථාවක් බවයි. දැනටමත් Saudi Aramco සහ Intel වැනි දැවැන්තයින් සමඟ ගනුදෙනු කරන SambaNova සමාගම, මෙම නව අරමුදල් යොදා ගන්නේ තම සැපයුම් දාමය ශක්තිමත් කරමින් ලොව පුරා ඉහළ යන ඉල්ලුමට සරිලන පරිදි නිෂ්පාදන කටයුතු වේගවත් කිරීමටයි.
අනාගතයේදී සමාගම කොටස් වෙළඳපොළට පිවිසීමේ බලාපොරොත්තුවෙන් සිටින අතර, කෘත්‍රිම බුද්ධි ක්ෂේත්රයේ වේගවත් වර්ධනයත් සමඟ SambaNova සමාගම ඉදිරියේදී තවත් විශාල වෙනස්කම් රැසක් සිදුකරනු ඇති බවටයි වෙළඳපොළ විශ්ලේෂකයින් පවසන්නේ.

Discussion & Feedback