මේ දවස්වල ගොඩක් සමාගම් AI තාක්ෂණය පාවිච්චි කරන්න ගිහින් විශාල මුදලක් නිකරුණේ වියදම් කරගන්නවා. Rippling කියන මෘදුකාංග සමාගමත් මේ වගේ අත්දැකීමකට මුහුණ දුන්නා. ඔවුන්ගේ පර්යේෂණ සහ සංවර්ධන අංශයේ අය AI ටෝකන් සඳහා පමණක් විශාල මුදලක් වියදම් කරන බව පස්සේ තමයි දැනගත්තේ. සමහර ඉංජිනේරුවන් මාසෙකට ඩොලර් 50,000ක් වගේ මුදලක් මේ වෙනුවෙන් වියදම් කරලා තිබුණා. මේ නිසාම ඔවුන් තීරණය කළා සේවකයන් AI පාවිච්චි කරන විදිය සහ ඒ හරහා ඇත්තටම වැඩක් සිද්ධ වෙනවද කියලා හොයලා බලන්න අලුත් ‘AI Spend Console’ කියන මෙවලම හඳුන්වා දෙන්න.
මේ අලුත් මෙවලම හරහා සමාගමකට පුළුවන් තමන්ගේ සේවකයන් AI පාවිච්චි කරලා ඇත්තටම වැඩක් කරනවද නැත්නම් නිකන්ම මුදල් නාස්ති කරනවද කියලා හරියටම බලාගන්න. ඒ වගේම, හැම වැඩකටම මිල අධිකම AI මාදිලි පාවිච්චි නොකර, වැඩේට ගැලපෙන අඩු වියදම් මාදිලි තෝරාගන්නත් මේක උදව් වෙනවා. Rippling සමාගම කියන විදියට, ඔවුන් මේ පද්ධතිය හඳුන්වා දුන්නට පස්සේ ඔවුන්ගේ AI වියදම ගොඩක් අඩු කරගන්න පුළුවන් වුණා. දැන් ඕනෑම සමාගමකට තමන්ගේ AI වියදම් පාලනය කරගන්න සහ සේවකයන්ගේ කාර්යක්ෂමතාවය මැනගන්න මේ මෙවලම හොඳ විසඳුමක් වෙලා තියෙනවා.

Discussion & Feedback