ඇපල් සමාගමෙන් පස්සේ ඉන්දියාවේ ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන ක්ෂේත්රය තවත් ඉදිරියට ගෙනියන්න පුළුවන් විදියේ ලොකු පියවරක් දැන් අරගෙන තියෙනවා. ඒ තමයි චීනයේ ප්‍රසිද්ධ Vivo සමාගම සහ ඉන්දියාවේ Dixon Technologies සමාගම එකතු වෙලා අලුත් නිෂ්පාදන හවුල් ව්‍යාපාරයක් පටන් ගන්න ගත්තු තීරණයට ඉන්දීය රජයෙන් නිල වශයෙන් අවසර ලැබීම. මේක ඇත්තටම ඉන්දියාවේ ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන කර්මාන්තයේ අලුත් පරිච්ඡේදයක් විදියටයි ගොඩක් අය දකින්නේ.
මේ හවුල් ව්‍යාපාරයේදී Dixon සමාගම 51%ක කොටස් හිමිකාරිත්වයක් දරන අතර Vivo සමාගම සතුව 49%ක කොටස් ප්‍රමාණයක් තියෙනවා. ඉන්දියාව සහ චීනය අතර දේශසීමා ගැටලු නිසා චීන ආයෝජන සම්බන්ධයෙන් ඉන්දීය රජය දැඩි නීති රීති පනවලා තිබුණත්, මේ වගේ දේශීය සමාගම් එක්ක එකතු වෙලා වැඩ කරන එක චීන සමාගම්වලට වඩාත් ආරක්ෂිත සහ ස්ථාවර ක්‍රමයක් වෙලා තියෙනවා. මේ ව්‍යාපෘතිය හරහා Vivo සමාගමට ඉන්දියාවේ නිෂ්පාදන කටයුතු තවත් පුළුල් කරන්න වගේම, Dixon සමාගමටත් විශාල නිෂ්පාදන ධාරිතාවක් ලබාගන්න පුළුවන් වෙනවා.
දැනට ඉන්දියාවේ ස්මාර්ට්ෆෝන් වෙළඳපොළේ වැඩිම පංගුවක් තියෙන්නේ චීන සමාගම් සතුව වුණත්, අපනයන අතින් ඔවුන් තවමත් ඉන්නේ ඇපල් වගේ සමාගම්වලට වඩා ගොඩක් පිටුපසින්. ඉතින් මේ වගේ දේශීය හවුල්කාරිත්වයන් හරහා ඉන්දියාව ලෝකයේ ප්‍රධානම ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් විදියට තව තවත් ශක්තිමත් වෙයි කියලා තමයි වෙළඳපොළ විශ්ලේෂකයන් නම් කියන්නේ.

Discussion & Feedback