ලෝකයේ වැඩිම කාලයක් විකාශය වුණු ඇනිමේෂන් කතා මාලාව විදිහට ප්රසිද්ධ ‘ද සිම්ප්සන්ස්’ (The Simpsons) ගැන අලුත්ම ආරංචියක් ඇවිත් තියෙනවා. දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ මේ කතා මාලාව අනුගමනය කරපු සම්ප්රදායක් මේ වෙනකොට ඔවුන් වෙනස් කරලා තියෙනවා. සාමාන්යයෙන් රූපවාහිනී කතා මාලා මැයි මාසයේ ඉඳන් සැප්තැම්බර් වෙනකම් ගිම්හාන නිවාඩුවක් ගන්නවා. ඒ කාලෙට අලුත් කථාංග විකාශය වෙන්නේ නැහැ. හැබැයි ද සිම්ප්සන්ස් මේ සැරේ ඒ සිරිත කඩ කරමින් ගිම්හාන කාලයෙත් අලුත් විශේෂ කථාංග ප්රේක්ෂකයන්ට ලබා දෙන්න පියවර අරන් තියෙනවා.
මේ වෙනසත් එක්කම ඔවුන්ගේ විකාශන රටාවෙත් ලොකු වෙනසක් දකින්න පුළුවන්. කලින් හැම කථාංගයක්ම රූපවාහිනියෙන් විකාශය වුණත්, දැන් සමහර කොටස් කෙලින්ම Disney+ හරහා විකාශය කරනවා. මේක සමහර රසිකයන්ට නම් ටිකක් අලුත් අත්දැකීමක් වෙලා තියෙනවා. මොකද ගොඩක් දෙනෙක් පුරුදු වෙලා හිටියේ රූපවාහිනියෙන් මේවා බලන්න. කොහොම වුණත්, කිසිම වෙනසක් නැතිව එකම තැනක හිරවෙලා ඉන්න සිම්ප්සන්ස් පවුලේ අයට මේ වගේ අලුත් විදිහේ ප්රවේශයක් ලැබීම ගැන රසිකයන් අතර ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.
ඇත්තටම ද සිම්ප්සන්ස් කියන්නේ කාලයත් එක්ක වෙනස් නොවෙන චරිත ඉන්න කතා මාලාවක්. ඒ නිසා කතා මාලාවේ දිගුකාලීන පැවැත්ම වෙනුවෙන් මේ වගේ වෙනස්කම් අත්යවශ්යයි කියලා තමයි බොහෝ දෙනා කියන්නේ. කෙසේ වෙතත්, අවුරුදු ගාණක් තිස්සේ තිබුණු ගිම්හාන නිවාඩු කාලය අවසන් කරමින් අලුත් විදිහට වැඩ පටන් ගැනීම, මේ කතා මාලාව තවත් කාලයක් ජනප්රියව පවතින්න හේතුවක් වේවි.

Discussion & Feedback