ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පදිංචිව සිටි 47 හැවිරිදි ඇෆ්ගන් ජාතික කාන්තාවක් වන නසීරා හාජි සාදා, එරට රහසිගත ‘Alien Terrorist Removal Court’ හෙවත් විදේශීය ත්රස්තවාදීන් ඉවත් කිරීමේ අධිකරණය හරහා පිටුවහල් කිරීමට පියවර ගෙන තිබෙනවා. 1996 වසරේදී පිහිටුවනු ලැබූ මෙම විශේෂ අධිකරණය මෙතෙක් කිසිදු නඩුවක් සඳහා භාවිත කර නොතිබූ අතර, මෙය එහි ඉතිහාසයේ පළමු අවස්ථාව ලෙසයි සැලකෙන්නේ. ඇය කිසිදු අපරාධයකට වරදකාරිය වී නොතිබුණත්, ඇගේ පුත්‍රයා සහ බෑණා 2024 මැතිවරණ දිනයේදී ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරුවන් වීමත් සමඟ ඇයව පවුලේ ත්‍රස්තවාදී මතවාදයන් ප්‍රචලිත කළ ප්‍රධාන චරිතය ලෙස බලධාරීන් හඳුන්වා තිබෙනවා.
මෙම නඩු විභාගයේදී තමන්ට එරෙහිව ඇති සාක්ෂි පවා දැක ගැනීමට අවස්ථාවක් නොලැබීම නිසා, නීතිමය ක්‍රියා පටිපාටිය උල්ලංඝනය වී ඇති බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පවසනවා. කෙසේ වෙතත්, දිගින් දිගටම නඩු විභාගයට මුහුණ දෙනවාට වඩා රටින් පිටව යාමට ඇය තීරණය කර තිබෙනවා. ඇමරිකානු නීතිපතිවරයා පවසන්නේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි පියවරක් ගැනීම වැදගත් බවයි. නමුත් නීතිඥවරුන් අවධාරණය කරන්නේ, සාක්ෂි පෙන්වීමට පවා නොහැකි මෙවැනි අධිකරණ ක්‍රමවේදයක් ව්‍යවස්ථාවට පටහැනි බවත්, ඉදිරියේදී මෙය අභියෝගයට ලක් කරන බවත්ය.

Discussion & Feedback