ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය සහ පාකිස්ථානය අතර දේශසීමාවේ යළිත් වතාවක් ගැටුම් උත්සන්න වෙමින් පවතිනවා. ඇෆ්ගනිස්ථාන දේශසීමාවේ සිට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පාකිස්ථානයේ බැලුචිස්ථාන පළාතේ කිහිප දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ. ඊට ප්‍රතිචාර වශයෙන් පාකිස්ථාන හමුදාව පවසන්නේ තමන් විසින් ඩ්‍රෝන යානා හතරක් බිම හෙළූ බවත්, මෙවැනි ප්රකෝපකාරී ක්‍රියා තවදුරටත් සිදුවුවහොත් දැඩි ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත්ය.
මෙම ගැටුම් හටගත්තේ පසුගිය ඉරිදා පාකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථානය තුළ සිදුකළ ගුවන් ප්‍රහාර මාලාවකින් පසුවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන පරිදි එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙසේ වෙතත්, තමන් ඉලක්ක කළේ ත්රස්තවාදීන් පමණක් බව පාකිස්ථානය පවසන අතර, ඇෆ්ගනිස්ථානය චෝදනා කරන්නේ පාකිස්ථානය අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බවයි. දෙරට අතර පවතින මෙම දේශසීමා ආරවුල නිසා පසුගිය මාස කිහිපය පුරාම විශාල පිරිසක් මියගොස් තිබෙනවා.
පාකිස්ථානය දිගින් දිගටම චෝදනා කරන්නේ ඇෆ්ගනිස්ථානය තුළ ත්රස්තවාදීන් සැඟවී සිටින බවයි. නමුත් තලේබාන් පාලනය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඔක්තෝබර් මාසයේදී දෙරට අතර සටන් විරාමයක් ඇති කර ගත්තත්, එය බිඳ වැටෙමින් යළිත් වතාවක් මෙවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීම් වාර්තා වීම කලාපයේ සාමය පිළිබඳ බරපතළ ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා.

Discussion & Feedback