වාහන ආනයනය සඳහා දැනට පනවා තිබෙන සියයට 50ක තාවකාලික අමතර බද්ද මාස තුනක කාලය අවසන් වූ පසු තවදුරටත් දීර්ඝ නොකළ යුතු බව ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා පවසනවා. පසුගිය මැයි 16 වැනිදා සිට ක්‍රියාත්මක වන මෙම බදු පියවර අගෝස්තු 16 වැනිදායින් අවසන් වීමට නියමිතයි. මෙවැනි හදිසි බදු වෙනස්කම් මගින් වෙළඳපොළ තුළ අනවශ්‍ය අවිනිශ්චිතතාවක් සහ ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. දැනටමත් වාහන සඳහා සියයට 150ත් 200ත් අතර ඉහළ ආනයන බදු අය කෙරෙන පසුබිමක, මෙවැනි අමතර බදු පැනවීම කිසිසේත්ම සාධාරණ නැති බවයි ඔහුගේ අදහස වන්නේ.
මෙම බදු කාලය අවසන් වූ පසු එය ඉවත් කිරීමෙන් වෙළඳපොළ තුළ හදිසි කම්පනයක් ඇති විය හැකි වුවත්, බදු දීර්ඝ කිරීම කිසිසේත්ම විසඳුමක් නොවන බව ඔහු අවධාරණය කරනවා. දැනටමත් වාහන සඳහා පවතින ඉල්ලුම අඩුවෙමින් පවතින නිසා බදු ආදායම අපේක්ෂිත මට්ටමට ලැබෙන්නේ නැහැ. ඒ නිසා රජය අමතර බදු මතම යැපෙන්නේ නැතිව රාජ්‍ය වියදම් කළමනාකරණය කර ගැනීමටත්, රටට අවශ්‍ය සැබෑ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කළ යුතුයි. රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට නම් මෙවැනි තාවකාලික විසඳුම් වෙනුවට ශක්තිමත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback