ඩිත්ව සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ ජනතාවගේ ජීවනෝපාය නංවාලීමට සහ විනාශ වූ යටිතල පහසුකම් යළි ගොඩනැගීමට ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබා දීමට එකඟ වී තිබෙනවා. මෙම ව්‍යාපෘතිය 2026 වසරේ සිට 2030 වසර දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ හරහා අනාගතයේදී ඇතිවිය හැකි මෙවැනි ආපදා තත්ත්වයන්ට මුහුණ දීමේ හැකියාව ශක්තිමත් කිරීමත් බලාපොරොත්තු වෙනවා. මේ සඳහා අදාළ ගිවිසුම් පසුගිය අඟහරුවාදා කොළඹදී අත්සන් කෙරුණා.
මෙම ව්‍යාපෘතිය යටතේ කුණාටුවෙන් හානියට පත් මාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම, කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය සහය ලබා දීම සහ හානියට පත් නිවාස යළි ගොඩනැගීම සඳහා ආධාර ලබා දීම සිදු කරනවා. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ආයතනය ලෙස කටයුතු කරන අතර, මාර්ග සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක් ඒකාබද්ධව මෙම කටයුතු මෙහෙයවනු ලබනවා. කෘෂිකාර්මික සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ද මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සිය දායකත්වය ලබා දෙනවා.
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩලයේ අධ්යක්ෂ ෂැනන් කෝලින් මහත්මිය විසින් මෙම ගිවිසුම්වලට අත්සන් තැබුවා. මෙම ආධාර මුදල හරහා කුණාටුවෙන් පීඩාවට පත් පවුල්වලට විශාල සහනයක් ලැබෙනු ඇති අතර, එම ප්‍රදේශවල යටිතල පහසුකම් යළි නගා සිටුවීමට මෙය මහත් පිටුවහලක් වේවි.

Discussion & Feedback