දකුණු අප්‍රිකාවේ ප්‍රසිද්ධ ක්‍රීඩා මාධ්‍යවේදියෙක් සහ SABC නාලිකාවේ හිටපු ඉදිරිපත් කරන්නෙක් වන ඕවන් එන්ඩ්ලෝවු අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා. ඔහු සිය බිරිඳ දේවස්ථානයකින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී සන්නද්ධ පුද්ගලයන් තිදෙනෙකු විසින් ඔහුව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තිබුණා. පසුව ඔහුගේ මළ සිරුර වෙඩි වැදුණු තුවාල සහිතව ජොහැන්නස්බර්ග් නුවර ආසන්න ප්‍රදේශයකින් සොයාගෙන තිබෙනවා. මෙම සිදුවීමත් සමඟ දකුණු අප්‍රිකාවේ පවතින දරුණු අපරාධ රැල්ල පිළිබඳව නැවතත් ලෝකයේ අවධානය යොමු වී තිබෙනවා.
පොලිසිය පවසන පරිදි සැකකරුවන් ඔහුගේ වාහනයද පැහැරගෙන ගොස් පසුව එය අතහැර දමා තිබියදී සොයාගත්තා. ඕවන් එන්ඩ්ලෝවු යනු දකුණු අප්‍රිකානු ක්‍රීඩා ලෝලීන් අතර ඉතා ජනප්‍රිය චරිතයක්. ඔහු ක්‍රීඩා විචාරකයෙකු ලෙස පමණක් නොව, සංගීත ශිල්පීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිකයෙකු ලෙසත් කටයුතු කළා. ඔහුගේ හදිසි වියෝව පිළිබඳව බොහෝ දෙනා ශෝකය පළ කරන අතර, අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය දැඩි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. දකුණු අප්‍රිකාවේ වාර්ෂිකව සිදුවන මිනීමැරුම් සහ වාහන පැහැරගැනීම් සංඛ්‍යාව ඉහළ යාම එරට ජනතාවට විශාල තර්ජනයක් වී ඇති බවයි වාර්තා වන්නේ.

Discussion & Feedback